හදිසි නීතියට විරෝධයක්
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසියේ හමුදා නීතිය පනවා පැය 2 කට පසුව පාර්ලිමේන්තුවේදී පැවැති ඡන්ද විමසීමකදී වැඩි ඡන්ද 190 කින් එම නියෝගය පරාජයට පත් කිරීමට දකුණු කොරියානු මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබුණේය.
හමුදා නීතිය පැනවීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අවහිර කිරීමට දකුණු කොරියානු පොලිසිය කටයුතු කළත් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 190 දෙනෙකුට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව හිමිවූ අතර ඔවුන් නියෝගයට එරෙහිව ඡන්ද විමසීම පැවැත්වූවේය. එහිදී හමුදා නීතියට දැඩි විරෝධය දක්වමින් සියලු දෙනාම ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් සියලු දෙනාම හමුදා නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති යුන් සුක් යෝල් ඉවත් කිරීමට කටයුතු කළ අතර දකුණු කොරියාවට පැනවූ හමුදා නීතිය පැය 6 කට සීමා විය.
මේ අතර දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව එරට විපක්ෂය දෝෂාභියෝග යෝජනාවක් ඊයේ(04) පාර්ලිමේන්තුවේදී සභාගත කරද්දී පාලක පක්ෂය වන "කන්සර්වටිව් පීපල්ස් පවර්" පක්ෂය ජනතාව සමග හිටගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාට එරෙහිව එලෙස දෝෂාභියෝග යෝජනාවක් සභාගත කරද්දී දකුණු කොරියාවේ විශාලතම වෘත්තීය සමිති එකතුවද ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තෙක් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එසේම ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කරමින් දකුණු කොරියාවේ දෙවැනියට විශාලතම නගරය වන බූසාන් නගරයේදී දහස් ගණනක සහභාගීතත්වයෙන් පෙළපාළියක් පැවැත්වුණු අතර ඉදිරි දින හතක කාලය තුළ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් දිනපතා පෙළපාළි පැවැත්වෙනු ඇති බවද පැවැසෙයි.
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීන් රාශියක් ඔවුන්ගේ ධුර වලින් ඉල්ලා අස්වූ අතර දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය කිම් යන්ග් හියුන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට වගකීම බාර ගනිමින් ඔහුගේ ධුරයෙන් ඉල්ලා අස් වූවේය.
ඉන් අනතුරුව රැස්වූ දකුණු කොරියානු පාර්ලිමේන්තුව විරුද්ධ පක්ෂයේ මූලිකත්වයෙන් ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ආවේය. ජනතාවගේ බල කිරීමට සවන්දී ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් ඉල්ලා අස් නොවූවොත් දෝෂාභියෝග යෝජනාව සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට සිදුවනු ඇති බවත් එම ක්‍රියාවලිය මාස ගණනක් ඇදී යනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.
දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත් කිරීමට නම් යෝජනාවට පක්ෂව ඡන්ද 200 ක් ලබාගත යුතුය. ජනාධිපතිවරයා එලෙස දෝෂාභියෝග යෝජනාවෙන් පරාජයට පත්වුවහොත් ඔහුගේ බලතල අහිමි වන අතර ඉන් පසුව දෝෂාභියෝග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවන් 9 දෙනාගෙන් සය දෙනකුගේ එකඟත්වයෙන් තහවුරු කළ යුතුය.
නමුත් වර්තමානයේ සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ විනිසුරුවන් සය දෙනකු පමණක් නිසා දෝෂාභියෝග යෝජනාව ඉදිරියට ගෙන යාමට නව විනිසුරුවන් පත් කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුවට සිදුවනු ඇතැයි පැවැසෙයි.
පාලක පක්ෂයේ බහුතරයකගේ සහාය ජනාධිපති යුන් සුක් යෝල්ට නොමැති නිසා ඔහු දේශපාලන වශයෙන් අස්ථාවර අවස්ථාවක සිටින බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කළහ.