මොස්කව් අයි.එස්. ප්‍රහාරය



රුසියාවේ මොස්කව් අගනුවර, ක්‍රොකස් සිටි හෝල් ගොඩනැගිල්ලේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් තිබියදී, පසුගිය 22 වැනි දා රාත්‍රියේ, එම බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය. වසර ගණනකට පසු, රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය එයයි. රුසියන් ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කරගත් පුටින්, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රුසියානුවන්ට සහතිකයක් ලබා දී තිබියදී, එම ප්‍රහාරය එල්ල වීම, පුටින්ට පමණක් නොව රුසියන් ආරක්ෂක අංශවලට ද එල්ල වූ අතුල් පහරකි.

ක්‍රොකස් සිටි හෝල් රඟහල, ආසන 6,200 කින් සමන්විත වන අතර, පසුගිය 22 වැනිදා රාත්‍රියේ, එහි ආසන 6,000 ක් පමණ පිරී තිබුණි. පැවැත්වීමට නියමිතව තිබුණේ ‘පික්නික්’ නමැති රුසියන් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකි. හිටිහැටියේ, ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි තබමින්, අත්බෝම්බවලින් දමා ගසමින්, පුද්ගලයන් සිවු දෙනකු රඟහල තුළට කඩා වැදුණේ, රඟහලේ සිටි සියලු දෙනා භීතියට පත් කරමිණි. ඔවුහු දකින දකින සැමට වෙඩි තැබීමට පටන් ගත්හ. රඟහලේ සිටි පිරිස බේරී පලා යෑමට උත්සාහ ගනිද්දී තෙරපීමක් ද හටගත්තේය. හද කම්පා කරවන එම දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. ප්‍රහාරය එල්ල කළ සිවුදෙනා පලා ගියේ රඟහල ගිනිබත් කරමිණි. ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට පොර බදිද්දී, රුසියන් ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී ප්‍රහාරය එල්ල කළ සිවු දෙනා ලුහුබඳින්න විය. එය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බව රුසියන් රජය නිවේදනය කළේය. ප්‍රහාරයෙන් 150 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. සියයකට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා විය. මියගිය පිරිස අතරේ කුඩා දරුවෝ තිදෙනෙක් ද වෙති.

සුදු පැහැති මෝටර් රථයකින් පලා යමින් සිටි ප්‍රහාරකයන් සිවු දෙනාත්, ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන තවත් 11 දෙනකු ද අල්ලා ගැනීමට රුසියන් ආරක්ෂක අංශ සමත් වූයේ පැය 24 ක් යෑමට පෙරය. ත්‍රස්තයන් සිවු දෙනා අල්ලා ගැනීම සිදුවූයේ මොස්කව් අගනුවර සිට කිලෝ මීටර් 300 ක් දුරිනි. එම සිවුදෙනා පලා යමින් සිටියේ යුක්රේනය දෙසට යැයි ද පැවැසෙයි. අල්ලා අතපය බැද දැමූ ත්‍රස්තයන් සියල්ල පාපොච්චාරණය කරන අයුරු දැක්වෙන විඩියෝ ද රුසියන් ආරක්ෂක අංශ මාධ්‍ය වෙත නිකුත් කළේය. එම සිවුදෙනා රුසියානු ජාතිකයන් නොවිණි. සිවු දෙනාගෙන් එක් අයකු තුර්කි ජාතිකයෙකි. ඔහු ෆරිඩුනී ෂමිස්දීන් නමැත්තාය. ෂමිස්දීන් තුර්කියේ සිට රුසියාවට පැමිණ ඇත්තේ මාර්තු 4 වැනිදාය. ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ, ආගමික නායකයකුගෙන් ඔහුට අදාල උපදෙස් ලැබී තිබුණි. ප්‍රහාරය සඳහා රූබල් 100 ක මුදලක් ද ඔහුට ලැබුණු බව පැවැසිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව එදිරිවාදීන් වුවත්, දෙරටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අතරේ ශක්තිමත් සම්බන්ධයක් පවතී. ඉස්ලාමීය අන්තවාදීන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ සිටින බවත්, ඔවුන් ජනාකීර්ණ ස්ථානයකට හෝ වැඩි දෙනකු එක්රොක් වන ස්ථානයකට පහර දීමට සූදානම් වන බවත් ඇමෙරිකන් බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණි. ඒ, මීට දින කීපයකට පෙරය. ‘එදිරිවාදිකම් පැවැතියත්, අනතුරකදී, එම අනතුර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට වගකීමෙන් බැදී සිටිනවා’ යන ප්‍රතිපත්තිය මත, ඇමෙරිකන් බුද්ධි අංශ රුසියන් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කළේය. කෙසේ නමුත් රුසියාව එය ගණනකට නොගත් බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ තොරතුරු මත, මොස්කව් අගනුවර, ඇමෙරිකන් තානාපති කාර්යලයට අනතුරු අඟවා තිබුණි. රුසියාවේ සිටින ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා තිබුණි. ඒ, ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වළකින්නැයි උපදෙස් දෙමිණි.

රුසියාවේ මොස්කව් අගනුවර මිලියන දොළහකගේ නිවහනය. ක්‍රොකස් සිටි හෝල් ගොඩනැගිල්ල ඇත්තේ තදාසන්න ක්‍රොස්නාග්‍රෝස්ක් පළාතේය. සුපිරි වෙළෙද සංකීර්ණයකින්, රඟහලකින්, සම්මන්ත්‍ර ශාලාවකින් ක්‍රොකස් සිටි හෝල් සමන්විතය. මෙය ක්‍රෙම්ලීනයේ සිට කිලෝ මීටර් 20 ක් දුරින් පිහිටා ඇත. 2009 වසරේ දී විවෘත කළ ක්‍රොකස් සිටි හෝල් ගොඩනැගිලි සංකීර්ණය රුසියානුවන් නිතර ගැවසෙන ස්ථානයකි. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයන්ට උපදෙස් ලැබී තිබුණේ ඉස්ලාම් දහමට නිගරු කරන රුසියානුවන් හැකිතාක් ඝාතනය කරන ලෙසටය.

පසුගිය 22 වැනිදා ප්‍රහාරය එල්ල වුණු සැණින්, රුසියන් රජයේ ඇඟිල්ල දිගු වූයේ යුක්රේනයටය. රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන්, මේ වනවිට රුසියාවත් යුක්රේනයත් අතරේ යුද්ධයක් පවතී. රුසියාවෙන් චෝදනා එල්ල වෙද්දී යුක්රේනය වහා ඊට ප්‍රතිචාර දැක්වීය. ‘රුසියාව අපට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කරමින් සිටිනවා. රුසියාවත් අපත් යුද්ධයක පැටලී සිටිනවා. ඒත් අපේ ගැටුම තියෙන්නේ යුද පිටියේ. සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ මෙම ප්‍රහාරයට අපේ කිසිදු සම්බන්ධයක් නැහැ. අපි අපේ එදිරිවාදිකම් යුද පිටියේ දී බලා ගනිමු’ යනු යුක්රේනය දැක්වූ ප්‍රතිචාරයයි.

රඟහලට එල්ල වුණු ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය බාර ගත්තේ තමන් ලොකු හපන්කමක් කළ බවට පුරසාරම් දොඩමිණි. ප්‍රහාරයට පැමිණ ඇත්තේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත්, අයි.එස්.කේ.පී. හෙවත්, කොරසාන් පළාතේ අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් බව තහවුරු වී ඇත. අයි.එස්.කේ.පී. යනු ඇෆ්ගනිස්තානයෙන් තලේබාන්වරුන්ට අභියෝග කරන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි. අයි.එස්.අයි.එස් සංවිධානය ප්‍රහාරය සිදු කළ ත්‍රස්තයන් සිවු දෙනාගේ ඡායාරූප පවා ඔවුන්ගේ නිල ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කර කෙරුණි. රුසියන් ආරක්ෂක අංශ ජීවග්‍රහයෙන් අල්ලා ගත්තේ ඔවුන්ය.

ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ආරම්භ වූයේ ඉරාකයෙනි. ආරම්භයේ දී මෙය කුඩා ත්‍රස්ත කල්ලියකි. ඉරාකයේ අසල්වැසියා සිරියාවය. සිරියාවේ සිවිල් යුද්ධය හටගත් අවස්ථාවේදී, බටහිරින් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වුණු අයි.එස්.අයි.එස්. කල්ලිය, බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් තෙක් වර්ධනය වූයේ, ඉරාකයේත් සිරියාවේත් පළාත් අල්ලා ගනිමින් ඉස්ලාමීය රජ්‍යයක් පිහිටුවා ගනිමිනි. අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහිව සිරියානු රජය සමග එක් වී සටන් කළේ රුසියාවය. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට රුසියාව සමග එදිරිවාදිකම් ඇත්තේ මේ නිසාය. රුසියාව සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට සහාය දෙන්නේ, රුසියන් හමුදාවට අයත් ගුවන් කඳවුරක් සිරියාවේ ඇති බැවිනි. අද වනවිට ප්‍රධාන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය අඩපණ වී ඇති නමුත් අයි.එස්.කේ.පී. වැනි ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි ක්‍රියාත්මක වෙයි.

පසුගිය 22 වැනිදා රාත්‍රියේ එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ, රුසියානු එෆ්.එස්.බී හෙවත් ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් බොර්ට්නිකෝව්, ජනාධිපති පුටින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී, සිදුවන්නේ කුමක්දැයි සියලු තොරතුරු ලබා දුන්නේය. ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනීමෙන් පසු ජනාධිපති පුටින් ජාතිය ඇමැතුවේය. ඒ ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමිනි. ඊයේ (24) විශේෂ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ද ජනාධිපති පුටින්ය. රටේ සියලු ප්‍රධාන නගරවලත් ගුවන්තොටුපොළවලත් ආරක්ෂාව තර කෙරුණි. ප්‍රසිද්ධ ස්ථානවල සියලු උත්සව, ප්‍රසංග ආදිය නැවැත්වීමට තීරණය කෙරුණි‍.

මොස්කව් අගනුවර රගහලට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය බියගුලු ක්‍රියාවක් බව පවසමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එම ප්‍රහාරය හෙළා දැක තිබේ. අයි.එස්. ත්‍රස්තයන්ට යළි කිසිම දිනෙක කිසිම අවස්ථාවක මේ අයුරින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ නොතැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් අවධාරණය කර තිබේ. රුසියාවේ එදිරිවාදිකම්වලට එරෙහිව පිහිටුවා ඇති උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය ද ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක ඇත. ඇමෙරිකාව ද ප්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය. ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි, රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළා පමණක් නොව, ඇමෙරිකන් බුද්ධි අංශ මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් රුසියාවට අනතුරු ඇගවූ බව ද සිහිපත් කළහ. රුසියාවේ මිතුරන් වන චීනය, තුර්කිය, ඉන්දියාව පමණක් නොව සිරියාව ද ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. යුරෝපා සංගමය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඇෆ්ගනිස්තානය, කියුබාව, ඉතාලිය, ජපානය, වෙනිසියුලාව, ඊශ්‍රායලය, පලස්තීන පාලන අධිකාරිය, ස්පාඤ්ඤය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, පෝලන්තය, සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඇතුළු රටවල් රැසක් රුසියාව වෙනුවෙන් සොව පළ කළේ ද ප්‍රහාරය හෙළා දකිමිනි.

සී.එන්.එන්. සහ
අල් ජසීරා ඇසුරිනි

RECOMMEND POSTS