ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි



(ලුසිත ජයමාන්න)

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පවසයි.

රටවල් බොහොමයක ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී,දේශපාලන වශයෙන් අස්ථාවර වෙද්දී, ජන අරගලයකින් පසු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන අයුරින්, විනිවිදභාවයකින්, ඡන්ද දායකයන්ට පමණක් නොව, අපේක්ෂකයන්ටත් විශ්වාසය තැබිය හැකි ආකාරයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයටම ආදර්ශයක් බව ද යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් සෙසු රටවලට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි යැයි යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා අවධාරණය කළේය.

ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැන්චේස් අමෝර් මහතා ප්‍රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම් සාමාජිකයෝ, පසුගිය සති කීපයේ දිවයිනේ රැඳී සිටිමින්, ජනාධිපතිවරණය පැවැත්වෙද්දී, ඡන්ද ගණන් කරද්දී සහ ප්‍රතිඵල නිකුත් කරද්දී රට පුරා යමින් ඒ සියලු කටයුතු නිරීක්ෂණය කළහ.

සැන්චේස් අමෝර් මහතා ප්‍රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම් මෙරටට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම කළ ඇරැයුමක් පිළිගනිමිනි.

‘මමත්, යුරෝපා සංගමයේ නිරීක්ෂකයෝත් රටවල් රැසක මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල යෙදී තිබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට අදාල සියලු කටයුතු ඉතාමත් සාමකාමීයි. සෙසු කලාපීය රටවල් සමඟ බලද්දී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි. බංග්ලාදේශය අද දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා. පසුගිය කාලයේ එරට මැතිවරණ පිළිබඳ ගැටලු මතු වුණා. මැතිවරණ පැවැත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරවයි. ඒ නිසා අද බංග්ලාදේශය අර්බුද රැසකට මුහුණ දෙනවා. ඒ දේවල් අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ’ යැයි නාචෝ සැන්චේස් අමෝර් මහතා කරුණු පැහැදිලි කළේය.

පොලිස්පතිවරයකු නොමැතිව, ආරක්ෂාව තහවුරු කරමින් මැතිවරණයක් පැවැත්වීම ප්‍රසංශනීය බව නාචෝ සැන්චේස් අමෝර් වැඩි දුරටත් පැවැසිය.  පැවැති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් නිර්දේශ කීපයක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමටත්, පසුව නව රජයටත් යොමු කිරීමට කටයුතු කරන බව ද සැන්චේස් අමෝර් මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා ඉස්මතු වේවි යැයි දේශපාලනඥයන් සමාජ මාධ්‍ය ඔස්සේත් බියක් පතුරුවා තිබුණත්, තමන් ප්‍රමුඛ තම නිරීක්ෂකයන් කණ්ඩායම ද එවැනි තත්ත්වයක් අපේක්ෂා කළත්, එවැනි තත්ත්වයක් උදා නොවුණු බව සැන්චේස් අමෝර් මහතා පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී රටේ ඉතාමත් සාමකාමී තත්ත්වයක් පවතිද්දී බලධාරීන් ඇඳිරි නීතිය පැනැවීමට කටයුතු කළේ ඇයිදැයි යන්න තමන්ටත් තම කණ්ඩායමටත් ප්‍රහේලිකාවක් යැයි ද සැන්චේස් අමෝර් මහතා වැඩිදුරටත් පැවැසීය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන වාර්තාවට නිර්දේශ සහ යෝජනා කීපයක් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ද සැන්චේස් අමෝර් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කිරීමක් කළේය.

‘අප නිර්දේශ කීපයක් ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අප මාසයකින් පමණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නැයි අප බල කරන්නේ නැහැ. නමුත් මට විශ්වාසයි නව රජය සහ මැතිවරණ කොමාසම ඒ ගැන අවධානය යොමු කරාවි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු සහභාගී වුණා. සමහර අපේකේෂකයන් මැතිවරණ රැළිවලට පවා සහභාගී වුණේ නැහැ. අනවශ්‍ය විදියට අපේක්ෂකයන් ඉදිරිපත් වීම අනවශ්‍ය වියදමක් ලෙස අප දකිනවා. ආර්ථික අභියෝග මැද ජනාධිපතිවරණයක් පැවැත්වූ ශ්‍රී ලංකාව වැනි රටකට එය බරක්. එපමණක් නොවෙයි. කාන්තා අපේක්ෂකයන් කිසිවකු සිටියේ නැහැ. ඒ ගැන අප කනස්සල්ල පළ කළ කරනවා’ යැයි ද සැන්චේස් අමෝර් මහතා පෙන්වා දුන්නේය.

අපේක්ෂකයන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මුදල් යෙදවූ ආකාරය සම්බන්ධයෙන් විනිවාදභාවය ඉතා අඩු බවත්, මාධ්‍ය ආයතන ප්‍රධාන අපේක්ෂකයන් වෙනුවෙන් ඔවුන්ගේ ගුවන් කාලය වෙන් කර දුන්නත්, එම අපේක්ෂකයන් සම්බන්ධයන් සවිස්තරාත්මක, වි​ශ්ලේෂණාත්මක විග්‍රහයන් ජනතාවට ඉදිරිපත් නොකළ බවත්, ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීම සිදුවුණු බවත් සැන්චේස් අමෝර් මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.


RECOMMEND POSTS