ගස් අතරේ දේදුන්න



ඇස් පිනවන තරමේ මනස්කාන්ත සුන්දරත්වයකින් යුතු යුකැලිප්ටස් ඩෙගුලුප්ටා ‘Eucalyptus deglupta’ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ගස් වර්ගය, නැතිනම් ශාකය සාමාන්‍ය ව්‍යවහාරයේ දී ප්‍රචලිත ව ඇත්තේ ‘රේන්බෝ යුකැලිප්ටස්’ යනුවෙනි.

‘රේන්බෝ යුකැලිප්ටස්’ පිලිපීනය, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික වූ දේදුනු වර්ණයෙන් යුතු අපූරු ගස් වර්ගයකි.

වැසි වනාන්තර ආශ්‍රිත ව වැඩෙන එකම යුකැලිප්ටස් ගස් වර්ගය වන්නේ ද මෙයයි.
යුකැලිප්ටස් ශාක ලෝකයේ වැඩියෙන් ම වැඩෙන රට වන ඕස්ට්‍රේලියාවේ දැකිය නොහැකි යුකැලිප්ටස් ශාක විශේෂ හතරෙන් එකක් ලෙස ද රේන්බෝ යුකැලිප්ටස් හඳුනාගෙන තිබේ. 

විවිධ වර්ණයෙන් යුතු පොත්ත නිසා මෙම ශාකය අනිකුත් යුකැලිප්ටස් ශාක අතර විශේෂ තැනක් ගනී.

රේන්බෝ යුකැලිප්ටස් ගස් මුහුදු මට්ටමේ සිට මීටර් 1,800ක් වැනි උසින් පිහිටි වැසි වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත ව බහුල ව දැකිය හැකි ය. ඉහත සඳහන් කළ පරිදි මෙම ගස් පිලිපීනය, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික වුවත් වර්තමානය වන විට තවත් රටවල් ගණනාවක රේන්බෝ යුකැලිප්ටස් වගා කර තිබේ. ඒ අතර අමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන තැනක් ගනී . නමුත් අමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්තවල වගා කරන යුකැලිප්ටස් ගස්, සාමාන්‍ය රේන්බෝ යුකැලිප්ටස් ගස්වල ප්‍රමාණයට වඩා උසින් අඩු ය.

ඊට අමතරව, උද්‍යාන අලංකරණය සඳහා ද රේන්බෝ යුකැලිප්ටස් ගස් රෝපණය කර තිබෙනු දැකිය හැකි ය. හවායි රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවක උද්‍යානවල මෙම ශාක වගා කර තිබේ. 

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල මෙම ශාකය බහුල ව දැකිය හැක. ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ ද සුළු වශයෙන් රේන්බෝ යුකැලිප්ටස් වගා දැකිය හැකි ය. උද්භිද උද්‍යානවල වගා කරන ශාක සහ ස්වාභාවික වැසි වනාන්තරවල වැඩෙන රේන්බෝ යුකැලිප්ටස් ශාකවල පොත්තේ ඇති වර්ණවල පැහැදිලි වෙනසක් දැකිය හැකි ය.

රේන්බෝ යුකැලිප්ටස්’ සාමාන්‍යයෙන් මීටර් 60-75 දක්වා උසට වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු ගසක කඳ සෙන්ටිමීටර් 250 කට ආසන්න විශ්කම්භයකින් යුක්ත වේ. එහි කඳේ පොත්ත ප්‍රධාන වශයෙන් ළා තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර ඊට අමතර ව එහි කොළ, රතු, දම්, අළු සහ දුඹුරු වර්ණයන්ගෙන් යුතු පොතු ද දැකිය හැකි ය. . හොඳින් වැඩුණු රේන්බෝ යුකැලිප්ටස් ගසක පත්‍රයක් මිලිමීටර් 75-150 අතර දිගකින් සහ මිලිමීටර් 50-75 අතර පළලකින් යුතු වේ. අතුවල කෙළවර පොකුරක් ආකාරයෙන් මල් හට ගනී. මෙම ශාකයේ මල්, ලා කොළ හෝ ක්‍රීම් පැහැයෙන් යුතු වේ. ශාකය පිහිටා ඇති ප්‍රදේශය අනුව ඒවායේ මල් හටගන්නා කාලය වෙනස් වේ. මල් අග දැකිය හැකි රේණු සුදු හෝ ළා කහ පැහැයක් ගනී. රේන්බෝ යුකැලිප්ටස් ගස්වල පල හටගන්නා අතර එය මිලිමීටර් 3-5 ත් අතර දිගින් සහ පළලින් යුතු කරලකි. ඒවායේ දුඹුරු පැහැයෙන් යුතු කුඩා බීජ දැකිය හැකි ය

මේ වන විට බොහෝ රටවල් රේන්බෝ යුකැලිප්ටස් මහා පරිමාණයෙන් වගා කරයි. කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පල්පයක් සකසා ගැනීමට මෙම ශාකයේ විවිධ කොටස් යොදා ගනී. විශේෂයෙන් ම සුදු පැහැති කඩදාසි නිෂ්පාදනය සඳහා භාවිත කරන ශාක අතරින් ප්‍රධාන තැනක් රේන්බෝ යුකැලිප්ටස් ගස්වලට හිමි වේ. පිලිපීනයේ කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක වගා අතරින් වැඩි ප්‍රමාණයක වගා කර ඇත්තේ රේන්බෝ යුකැලිප්ටස් ය.

ජයනි සිතාරි අල්විස්
අන්තර්ජාලය ඇසුරිනි

RECOMMEND POSTS