උතුරු කොරියාවේ තවමත් ආසාදිතයෝ නෑ



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ 160 කට වඩා පැතිර ගොස් ඇති නමුත්, උතුරු කොරියාවෙන් තවමත් කිසිදු ආසාදිතයකු හමුනොවීම බොහෝ දෙනකුගේ පුදුමයට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය හේතුවෙන් චීනයේ පමණක් මියගිය ගණන 3,265 කි. චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 81,349 කි. දකුණු කොරියාවට අමතරව, උතුරු කොරියාවේ සමීපතම අසල්වැසියා චීනයයි. බටහිර සම්බාධක මැද උතුරු කොරියාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, වෙළෙඳ සබඳතා ආදිය පවත්වාගෙන යන්නේ චීනය සමඟය. චීන වැසියන් නිරන්තරයෙන්ම උතුරු කොරියාවට පැමිණෙති.

එපමණක් නොව, ලොව වඩාත් දියුණු සෞණ්‍ය පහසුකම් ඇති යුරෝපයේ මේ වනවිට චීනයට වඩා දරුණු අන්දමින් වයිරසය ව්‍යාප්තවෙයි. සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු තත්ත්වයක නොපවතින බව පැවැසෙයි. හමුදාවට මුල්තැන දී ඇති බැවින් යටිතල පහසුකම් පවා ප්‍රමාණවත් නැත. සන්නිවේදන පහසුකම් ද නොමැත. එවැනි තත්ත්වයක් යටතේ, උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු හමුනොවීම පුදුමයට කරුණක් බව විදෙස් මාධ්‍ය පැහැදිලි කරයි.

චීනයේ කොරෝනා වයිරසය පැතිර යන බව වාර්තා වීමත් සමඟ උතුරු කොරියා නායක කිම් ජොන් උන් පළමුවෙන් කළේ චීනය සමඟ ඇති දේශසීමා වසා දැමීමය. චීනයේ සිට පැමිණෙන කිසිවකු රටට ඇතුළු කර නොගත් අතර, රට තුළ සිටි සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඔවුන්ගේ නිවෙස් සහ නවාතැන් තුළ මාසයක් රැඳී සිටින්නැයි නියෝග කෙරුණි. ඉන්පසු මාසයක කාලයකින් පසු ඔවුන් සැවොම උතුරු කොරියාවෙන් පිටත් කිරීමට පියවර ගත්තේය.

කෙසේ නමුත්, ඇතැම් බටහිර හිතැති මාධ්‍ය වාර්තා කර ඇත්තේ, උතුරු කොරියාවෙන් ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසදිතයන් හමුවී ඇති බවත් උතුරු කොරියා රජය ඔවුන් මරා දමමින් රෝගය පැතිර නොමැති බව ලොවට පවසන බවය. උතුරු කොරියානු හමුදා සොල්දාදුවන් 700 ක් ආසාදනය වී ඇති බව එක් බටහිර පුවත්පතක් වාර්තා කර තිබුණි. වයිරසට බියෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුදු වෙරළට නුදුරින් හුදෙකලා නිවසෙක ආරක්ෂාව මැද රැඳී සිටින බව තවත් බටහිර හිතවාදී පුවත්පතක් වාර්තා කර තිබේ.

‘උතුරු කොරියාවෙන් තවමත් කිසිදු ආසාදියකු හමුවී නැහැ’ යැයි උතුරු කොරියාවේ සෞඛ්‍ය කමිටු සාමාජික සොන් ඉන් බොම්, එරට ජාතික පුවත්පතක් වන ‘රොඩොං සින්මුන්’ පුවත්පතට පවසා ඇත. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇත්තේ උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු හමුවී නැති බවය. උතුරු කොරියාවේ වයිරසය පැතිරීම ඇරැඹුණොත් එය චීනයට වඩා දරුණු වනු ඇති බවත්, එසේ වසංගත තත්ත්වයක් එය පහසුවෙන් සැඟවීම උතුරු කොරියාවට කළ නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

සෝල් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS