පෘථිවියේ දෙවැනි සඳ



අපගේ ග්‍රහලෝකය පෘථිවියයි. ඇතැම් ග්‍රහලෝකවලට උප ග්‍රහයෝ ද සිටිති. උප ග්‍රහයන් යනු තමන් වටා ද කැරකෙමින්, ග්‍රහලෝකයක් වටා කැරැකෙන ග්‍රහ වස්තූන්ය. උප ග්‍රහයන් ගැන තාරකා විද්‍යාඥයන් අර්ථ දක්වන්නේ එලෙසිනි. අප පෘථිවියට උප ග්‍රහයෙක් සිටී. අප චන්ද්‍රයා හෙවත් සඳ කියන්නේ මේ උප ග්‍රහයාටය. අපගේ උප ග්‍රහයාට අප සඳ කියන බැවින්, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සෙසු ග්‍රහයන්ගේ උප ග්‍රහයන් පමණක් නොව, විශ්වයේ ඈත ග්‍රහලෝකවලට අයත් උප ග්‍රහයන් ද අප හඳුන්වන්නේ චන්ද්‍රයන් කියාය. අපේ චන්ද්‍රයාට අමතරව, මේ වන විට පෘථිවියට තවත් පුංචි චන්ද්‍රයෙක් ලැබී ඇත. මෙය අපගේ චන්ද්‍රයා තරම් නොවෙයි. පියවි ඇසින් රාත්‍රී අහස නිරීක්ෂණ කළත් මෙය පෙනෙන්නේ නැත. මෙම අලුත් පුංචි චන්ද්‍රයා නිරීක්ෂණය කිරීම කළ හැක්කේ, තාරකා විද්‍යාඥයන් භාවිත කරන විශේෂිත දුරේක්ෂ ආධාරයෙන් පමණි. මෙම නව චන්ද්‍රයා, පෘථිවියට චන්ද්‍රයකු වී සිටින්නේ සැප්තැම්බර් 29 වැනිදා සිට නොවැම්බර් 25 දක්වා පමණි. පෘථිවියට හිටිහැටියේ තවත් චන්ද්‍රයකු ලැබුණේ කෙසේද? කෙටි කාලයකට පමණක් චන්ද්‍රයෙක් ලැබෙන්නේ කෙසේද? මේ චන්ද්‍රයාගෙන් පෘථිවියට එල්ල වන බලපෑම කුමක්ද? මීට කලින් මෙවැනි නව චන්ද්‍රයකු පෘථිවියට ලැබී තිබෙනවාද? මේ බොහෝ දෙනකුට ඇති ගැටලුය.

මේ පුංචි චන්ද්‍රයා ග්‍රහකයකි. ග්‍රහක යනු විශ්වයේ පාවෙන පාෂාණ කැබලිය. මීටර් කීපයක සිට කිලෝ මීටර් දස දහස් විශාල ග්‍රහක ඇත. පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය හෙවත් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී සිදුවුණු හැල හැප්පීම්වලින් ශේෂ වූ ග්‍රහලෝක කැබලි ආදිය ග්‍රහක ලෙස හැඳින්වෙයි. ග්‍රහක විටින් විට පෘථිවියට ළං වෙයි.‍ එසේ පැමිණෙන ග්‍රහක පෘථිවිය මඟ හැර යයි. නැතිනම් පෘථිවියට කඩා වැටෙයි. වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ ඩයිනසෝරයන් වඳ වී ගියේ කිලෝ මීටර් 10 ක් විශාල ග්‍රහකයක් පෘථිවියට කඩා වැටීමෙනි. මෙය මහා විනාශයකි. ඉන්පසුව ද යෝධ ග්‍රහක කීපයක් පෘථිවියට කඩා වැටුණත්, ඒවායින් මහා විනාශයක් සිදු වී නැත.

කුඩා ග්‍රහක කැබලි නම් නිරන්තරයෙන් පෘථිවියට කඩා වැටීම සිදුවෙයි. පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී ඒවා දීප්තිමත්ව දැවී අළු වී යන්නේ හානියක් නොකරය. මෙසේ පෘථිවි වායු ගෝලයට ඇතුළු වන ග්‍රහක උල්කා ලෙසත් උල්කාපාත ලෙසත් හැඳින්වෙයි. පෘථිවියට කඩා වැටීම සහ පෘථිවිය මඟ හැර යෑමට අමතරව, තවත් විකල්පයකට යන ග්‍රහක ද වෙයි. මේ තෙවැනි විකල්පය ඉතා දුර්ලභ එකකි. මෙහිදී සිදුවන්නේ, පෘථිවිය දෙසට පැමිණ, පෘථිවිය අසලින් යන ග්‍රහක, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය විසින් අල්ලා ගනු ලැබීමය. එසේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවන ග්‍රහක පෘථිවිය වටා කක්ෂයක යාමට පටන් ගනී. එවිට එය පෘථිවියේ උප ග්‍රහකයකු ලෙස සැලකෙයි. වෙනත් වචනවලින් කීවොත්, එවැනි ග්‍රහක පෘථිවියට අලුත් සඳකි.

නාසා ආයතනයේ ප්‍රබල දුර්කේෂ ආධාරයෙන්, රාත්‍රී අහස නිරීක්ෂණය කරන තාරකා විද්‍යාඥයන් පිරිසකට, පසුගිය අගෝස්තු 7 වැනිදා පෘථිවිය දෙසට පැමිණෙන ග්‍රහකයක් සොයා ගැනීමට හැකිවිය. අඩි 34 ක් දිග ‘2024 පීටි5’ යන කේත නාමයෙන් මෙම ග්‍රහකය නම් කළ විද්‍යාඥයෝ එහි ගමන් මඟ ගණනය කළහ. 2024 පීටි5 ග්‍රහකයේ ගමන් මඟ වැටී ඇති ආකාරයට එය පෘථිවිය දෙසට පැමිණ පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට හසුවන බව පෙනී ගියේය.

ඒ අනුව ඊයේ (29) දිනයේ සිට, ඉතා වේගයෙන් ගමන් කරන, ‘2024 පීටි5’ පෘථිවියේ පුංචි චන්ද්‍රයා බවට පත් විය. එළඹෙන නොවැම්බර් 25 වැනිදා දක්වා කාලයේ, මෙම ග්‍රහකය, අමුතු විදියේ ඉලිප්සාකාර හැඩකයට පෘථිවිය වටා කක්ෂයක ගමන් කරනු ඇත. ඒ, අපගේ චන්ද්‍රයා ගමන් කරන ආකාරයේ කක්ෂයක නම් නොවෙයි. චන්ද්‍රයා අපේ ප්‍රධාන සහකාරියයි. වසර බිලියන 4 කට වඩා වැඩි කාලයක පටන් පෘථිවියේ තනි නොතනියට සිටින එකම සහකාරිය චන්ද්‍රයාය. චන්ද්‍රයාට අප සඳවතිය කියන්නේ නිකම්ම නොවෙයි. තාරකා විද්‍යාඥයන්ට අනුව, හරියටම තව දින 56 කින් නොවැම්බර් 25 දා ‘2024 පීටි5’ ග්‍රහකය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදෙයි. ඉන්පසු එය සූර්යයාගේ ආකර්ෂණය මත යළි අභ්‍යවකාශය දෙසට වේගයෙන් ඇදී යනු ඇත.

අතීතයේ කාල ගණනය කිරීම සඳහා යොදා ගත්තේ සඳය. ස්වභාවිකව චන්ද්‍රයාගේ වෙනස් වීම මත කාලය ගණනය කෙරුණි. සඳ ක්‍රමක්‍රමයෙන් විශාල වී සම්පූර්ණ වී ඊට පසුව නැවත ක්‍රමක්‍රමයෙන් කුඩා වී අවසානයේ සඳ නොපෙනී යයි. ඒ සඳ ගමන් කරන එක් වටයකි. අධ්‍යත්මයේ මුසු කිරීමක ප්‍රතිඵලයක් ලෙසිනි පොහොය දින නිර්මාණය විය. නව සඳ දිස්වන්නේ දින 28 කට වරකි. සඳුගේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන්, පෘථිවිය මත වෙනස්කම් සිදුවෙයි. සඳුගේ බලපෑමෙන්, පෘථිවි අපේ මානව චර්යා වෙනස් කරයි. සඳ පෘථිවියේ ජීවත් වන අපටත් බලපෑම් කරයි. වඩදිය බාදියට බලපාන්නේ ද සඳය. පියවි ඇසට නොපෙන‍ෙන, දුර්කේෂයකින් බැලුවත් පුංචි අපැහැදිලි පැල්ලමක් ලෙස දකින්න ලැබෙන, ඉතාමත් වේගයෙන් ගමන් කරන අලුත් සඳ හෙවත්, ‘2024 පීටි5’ ග්‍රහකයෙන් පෘථිවියට කිසිදු බලපෑමක් එල්ල නොවන බව තාරකා විද්‍යාඥයන්ගේ අදහසය.

තාරකා විද්‍යාඥයන්ට නම්, ‘2024 පීටි5’ ග්‍රහකය ඉතා වැදගත් වෙයි. ඒ, මෙවැනි කුඩා ග්‍රහක ගැන ඔවුන්ට අධ්‍යයනය කළ හැකි බැවිනි. දුර්ලභ සංසිද්ධියක් වුවත්, විද්‍යාඥයන්ට අනුව, ග්‍රහකයක් මේ අයුරින්, පෘථිවියේ පුංචි චන්ද්‍රයකු වුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. ‘2020 සීබී3’ නමැති ග්‍රහකය, වසර කීපයක්‍, පෘථිවියට පුංචි සඳක් ලෙස ගුරුත්ව බලයෙන් සම්බන්ධ වී සිටි බව පැවැසෙයි. 2020 වසරේ දී එය පෘථිවිය හැර ගියේය. ‘2022 ඒන්ඒක්ස්1’ නමැති ග්‍රහකය, 1981 වසරේ දී පෘථිවියේ පුංචි චන්ද්‍රයා ලෙස පැවැතිණි. 2051 වසරේ දී, යළිත් වරක් ‘2022 ඒන්ඒක්ස්1’ ග්‍රහකය පෘථිවිය දෙසට පැමිණෙනු ඇති බව ගණනය කර තිබේ. සාමාන්‍යයෙන් පුංචි චන්ද්‍රයන් වන ග්‍රහක ආපසු පැමිණීම සිදුවෙයි. ‘2024 පීටි5’ ද එසේ කරනු ඇත.

‘2024 පීටි5’ වැනි ග්‍රහක 25,000 කට වැඩි ගණනක් ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය. එහෙත්, අද වන විට සොයා ගෙන ඇත්තේ ඒවායින් 10,000 ක් පමණය. පෘථිවියට පුංචි චන්ද්‍රයකු වන සෑම ග්‍රහකයක්ම හැකි තරම් අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් බව විද්‍යාඥයන්ගේ අදහසය. ග්‍රහක ගැන කෙරෙන අධ්‍යයනවලදී ‘2024 පීටි5’ අධ්‍යයනය කිරීමෙන් ලබා ගන්නා දත්ත ඉතා වැදගත් වේවි යැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ස්තුතිය - නාසා ආයතනයට 


RECOMMEND POSTS