ඊශ්‍රායල ලෙබනන් අර්බුදය



සැප්තැම්බර් 23 වැනිදා උදෑසන, දකුණු ලෙබනනයේ සිවිල් වැසියන්ගේ ඡංගම දුරකතන බොහොමයකට කෙටි පණිවුඩයක් ලැබුණි. හැමෝටම ලැබුණේ එකම පණිවුඩයයි. පණිවුඩය අසල්වැසි ඊශ්‍රායලයෙනි. ‘තමන්ගේ නිවාසවලින්, තමන්ගේ ගම්බිම්වලින් වහාම ඉවත් වෙන්න’ යැයි පණිවුඩයේ සඳහන් විය. එය අනතුරු ඇඟවීමකි. ඊශ්‍රායලය, මේ අයුරින්, අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි. ලෙබනන් ජනමාධ්‍ය අමත්‍යාංශයට ද කෙටි පණිවුඩය ලැබී තිබුණි. එසේ වුවත්, ජනමාධ්‍ය අමත්‍යාංශය මෙන්ම ලෙබනන් රජය ද එම කෙටි පණිවුඩය සැණින් බැහැර කළේය. ඊශ්‍රායලය, ලෙබනන් වැසියන් මානසිකව වට්ටන්න හදනවා යැයි ලෙබනන් රජය පෙරළා චෝදනා කරන්න විය.

පැය කීපයක් ගතවූවා පමණි. ඊශ්‍රායල ගුවන් හමුදාවෙන්, දකුණු ලෙබනනයට දිගට හරහට ප්‍රහාර එල්ල වීමට පටන් ගැනුණි. ඊශ්‍රායල හමුදාවේ ඉලක්කය වූයේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ය. විදෙස් පුවත් සේවා පැවැසුවේ, 2006 වසරෙන් පසු, ඊශ්‍රායලය, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය බවය. දකුණු ලෙබනනයේ, හිස්බුල්ලා ඉලක්ක 600 කට වැඩි ගණනකට, ඊශ්‍රායල හමුදාව පහර දුන්නේය. ඊයේ (26) වනවිට දිගින් දිගටම එල්ල වුණු එම ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 569 ක් බව පැවැසිණි. ඒ අතරේ, කාන්තාවන් 80 දෙනකු ද කුඩා දරුවන් 50 දෙනකු ද සිටින බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඊළඟ මොහොතේ කුමක් සිදුවේවිදැයි නොදැන ප්‍රහාර හමුවේ, දකුණු දිග ලෙබනනයේ වැසියා් දස දහස් ගණනින් ඔවුන්ගේ නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත පලා යන්න වූහ. පාසල් සියල්ල දින නියමයක් නොමැතිව වසා දැමුණි. ලෙබනන රජය චෝදනා නගන්න වූයේ ඊශ්‍රායලය තම වැසියන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළ බවය. ‘ඊශ්‍රායලය දිගින් දිගටම අපට පහර දෙනවා. ඔවුන් කරන්නේ ලෙබනන් වැසියන් සමූල ඝාතනය කිරීමත් මිස වෙන කිසිවක් නොවෙයි. ලෙබනන් ගම්මාන, නගර විනාශ කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබෙනවා.” යැයි ලෙබනන් රජය වෙනුවෙන් එරට ජනමාධ්‍ය අමාත්‍ය සියාඩ් මැකරි මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන යුද්ධයේ දිගුවක් ලෙසය. හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය නොඅඩුව හිමිවෙයි. හිස්බුල්ලා සංවිධානය යනු ඉරානයේ අනුග්‍රහය යටතේ, ඊශ්‍රායලයට එරෙහිව පිහිටුවනු ලැබූ සංවිධානයකි. මෙය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය පමණක් නොව ඇමෙරිකාව ද හිස්බුල්ලා සංවිධානය ‘ත්‍රස්ත සංවිධානයක්’ ලෙස සලකයි.

දිගින් දිගටම හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරද්දී, ඉරානය පැවැසුවේ, හිස්බුල්ලා සාමාජිකයන් සහ ලෙබනන් සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයනු තවත් බලා සිටිය නොහැකි බවය. හිස්බුල්ලා සටන්කාමීන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඉරානය, ඊශ්‍රායලය සමඟ පැටලුණොත්, මැදපෙරදිග කලාපයට පමණක් නොව, මුළු ලෝකයටම බලපෑම් කරන ලෝක යුද්ධයකට පෙර නිමිත්තක් වනු නොඅනුමානය. මේ හේතුව නිසා යුද ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී සමථයකට පත් කර ගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයත් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. ඒත්, ඇමෙරිකාවේ සහාය ලබන ඊශ්‍රායලය හෝ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නොදන්යාහු හෝ එවැනි ඉල්ලීමකට කන් නොදෙන බව පැහැදිලිය.

ලෙබනනයට පහර දීමට පෙර, ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සිය ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් පිරිවරා ගනිමින් මාධ්‍ය හමුවක් පැවැත්වීය. ‘බෙහෝ දෙනකුට තවමත් මේක අවබෝධ වෙලා නැහැ. මම කැමතියි ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති සහ අරමුණ යළිත් වරක් පැහැදිලි කරන්න. අප (ඊශ්‍රායලය) කාගෙන්වත් තර්ජනයක් වෙනකල් බලන් ඉන්නේ නැහැ. තර්ජනයක් වේවි යැයි අනුමාන කරන සියලු දෙනා අප විනාශ කරනවා. අපට පහර දෙන්න හිතන්න කලින් අප අපේ සතුරන් හඳුනාගෙන ඔවුන් විනාශ කරනවා. ඕනෑම වෙලාවක. ඕනෑම තැනක. අපි අපට එදිරිවාදී සන්නද්ධ කණ්ඩායම්වල නායකයන් විනාශ කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරනවා. අප කාටවත් බය නැහැ. බය වෙන්නෙත් නැහැ. කවුරු හරි අපට රිද්දුවොත්, අප පෙරළා ඒ අයට ඊටත් වඩා රිද්දනවා. උතුරු ලෙබනනයට අප පහර දෙන්නේ ඒ අනුවයි’ යැයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කළේ තර්ජනාත්මක ස්වරයෙනි. මේ අතර, උතුරු ඊශ්‍රායලය හරහා ලෙබනනයට හමුදා මෙහෙයවා, හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගොඩබිම් සටන් ආරම්භ කිරීමට ද ඊශ්‍රායලය මේ වනවිට සූදානම් වන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසා ඇත. 

හිස්බුල්ලා සංවිධානය, දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටෙන්නේ හිස්බුල්ලා සන්නද්ධ අංශයයි. ‘හිස්බුල්ලා’ යනු අරාබි බසින්, ‘දෙවියන්ගේ කණ්ඩායම’ යන අර්ථයයි. හිස්බුල්ලා සංවිධානයේ ආරම්භය සිදුවූයේ ලෙබනන් සිවිල් යුද සමයේදීය. 1982 වසර වෙද්දී, ලෙබනනයේ බීරූට් අගනුවර ඊශ්‍රායලය විසින් අල්ලා ගනු ලැබ තිබුණි. 2000 තෙක් දකුණු ලෙබනනය පැවැතියේ ද ඊශ්‍රායලයේ ග්‍රහණයේය. හිස්බුල්ලා සන්නද්ධ අංශය පිහිටුවීම සිදුවූයේ ඉරාන විප්ලවීය හමුදාවේ මැදිහත් වීමෙනි. ඒ, ඊශ්‍රායල හමුදා සමඟ සටන් වැදීමටය.

2006 වසරේ ජූලි සිට අගෝස්තු දක්වා මාසයක් තිස්සේ ඊශ්‍රායලයත් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයත් අතරේ යුද්ධයක් පැවැත්විණි. එම යුද්ධයෙන් ලෙබනනයේ 1,600 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා ලෙබනන් සිවිල් වැසියන්ය. හිස්බුල්ලා ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 160 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඊශ්‍රායල සොල්දාදුවන්ය.  එම ගැටුමට මුල් වූයේ ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ දී හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල සෙබළුන් දෙදෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියකි.

ඊශ්‍රායල හිස්බුල්ලා යුද්ධය අවසන් වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය. එම යෝජනාවට අනුව, දකුණු ලෙබනනයේ අවි දරා සිටිය හැකි එකම සන්නද්ධ කණ්ඩායම ලෙස සැලකුණේ ලෙබනන් රජයේ හමුදාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව පමණි. එසේ වුවත්, හිස්බුල්ලා සංවිධානය, දකුණු ලෙබනනයේ, රහසිගතව, ඔවුන්ගේ කටයුතු කරගෙන යයි. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් කඳවුරු ඇති අතර, ඒවා ඇත්තේ භූගතවය. උමං පද්ධතිවලින් එම කඳවුරු එකිනෙක සම්බන්ධ වී පවතී. නැගනෙහිර ලෙබනනයේ, සිරියා දේශසීමාවට අසල බෙක්කා නිම්නය හිස්බුල්ලා සංවිධානය යටතේ පවතී.

හිස්බුල්ලා සංවිධානයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ද බෙක්කා නිම්නයයි. ඔවුන්ට ඉරානයෙන් අවි ආයුධ හිමිවෙයි. ඊට අමතරව, අවි පුහුණුව ද හිස්බුල්ලා සටන්කාමීන්ට හිමිවෙයි. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, හිස්බුල්ලා සටන්කාමීහු 1,00,000 ක් යැයි පැවැසෙයි. හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා හසාන් නසරැල්ලාය. ඒ, 1992 වසරේ සිටය. හසාන් නසරැල්ලා හිස්බුල්ලා මහ ලේකම්වරයා වූයේ, ඔහුට පෙර සිටි මහ ලේකම්වරයා ඊශ්‍රායල හමුදාව ඝාතනය කළ බැවිනි. හසාන් නසරැල්ලා ප්‍රසිද්ධියේ පෙනී සිටිමෙන් වැළැකී සිටී. ඒ, ඊශ්‍රායලය ඔහු ඝාතනය කිරීමට සූදානමින් සිටින බැවිනි. 

මැදපෙරදිග කලාපයේ, යුදෙව් ඊශ්‍රායලයේ, කෙණෙහිලිකම්වලට එරෙහිව නැගී සිටින ෂියා මුස්ලිම් සංවිධානය ලෙස ද හිස්බුල්ලා සැලකෙයි. යේමනයේ, ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට සහාය සහ අනුග්‍රහය දක්වන්ගේ හිස්බුල්ලාය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයට ද හිස්බුල්ලා සහාය හිමිවෙයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේ, 1980 වසරේ සිදුවුණු බෝම්බ පිපිරීම් සහ සහ පැහැර ගැනීම් රැසක් පසුපස සිටින්නේ හිස්බුල්ලා යැයි චෝදනා නගමිනි. බීරූට් අගනුවර, ඇමෙරිකන් මෙරීන් සෙබළුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ද හිස්බුල්ලා සාමාජිකයන්ය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS