අනපේක්ෂිත අගමැති: මන්මෝහන් සිං
නූතන ඉන්දියාව ගෝලීය ආර්ථික බලවතකු කිරීමෙහිලා පුරෝගාමියා ලෙස අවිවාදයෙන් සැලකෙන්නේ, අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ය. ආචාර්ය සිං, එක්සත් රාජධානියේ, ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ අති දක්ෂ ආර්ථික විශේෂඥයෙකි. පැසැසුමටත් ගැරැහුමටත් ලක් වූ ඔහු ශීක් ජාතිකයෙකි. සුදු රැවුල, අව්‍යාජ සිනහව, මෘදු කතාබහ සිංගේ අනන්‍යතාවයයි. ආචාර්ය සිං, 2004 වසරේ සිට 2014 දක්වා, කොංග්රස් පක්ෂය ප්‍රමඛ රජය නියෝජනය කරමින්, ධුර දෙකක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. දේශපාලන ප්‍රතිවාදීන් ආචාර්ය මන්මෝහන් සිං හඳුන්වා දෙන්නේ, ‘ඇක්සිඩෙන්ටල් ප්‍රයිමිනිස්ටර්’ (අනපේක්ෂිත අගමැති) යනුවෙනි. ඒ, ඔහු කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවී, බිලියන ගණනක ජනගහනයකින් යුත් ඉන්දියාව, ගෝලීය ආර්ථික බලවතකු කළ බැවිනි.
මෙම අප්‍රේල් මාසයේ, මන්මෝහන් සිං ක්‍රියාකාරී දේශපාලනයට සමුදුන්නේය. ඒ, ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස වසර 33 ක දේශපාලනයේ නියැලීමෙන් අනතුරුවය. නේරු-ගාන්ධි උරුමය ලෙස ද සැලකෙන ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයේ ප්‍රබලයකු වුවත්, නේරු හෝ ගාන්ධි පවුලට සම්බන්ධයක් නොමැතිව, ධුර කාල දෙකක් සම්පූර්ණ කළ අග්‍රාමාත්‍යවරයා වන්නේ ද සිංය. ඒ, ජවහර්ලාල් නේරු සහ ඉන්දිරා ගාන්ධිගෙන් පසුවය. එපමණක් නොව, පළමු ශීක් අග්‍රාමාත්‍යවරයා ද වෙයි. නේරුගෙන් පසු වසර පහක පූර්ණ ධූර කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු නැවත තේරී පත් වූ පළමු අගමැති ද ඔහු විය.
පෙරේදා (26) නවදිල්ලි අගනුවර සිය නිවසේ විවේකීය සුවයෙන් පසුවූ සිං හිටටිහැටියේ සිහිසුන්ව ඇද වැටුණි. ඔහු ‘ඕල් ඉන්දියා ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිකල් සයන්ස්සස්’ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වෛද්‍යවරුන් කොතෙක් උත්සාහ කළත්, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සිහිය ලබා ගැනීමට හැකි වී නැත. ඒ, මන්මෝහන් සිංගේ වයස ඔහුට බාධාවක් වූ බැවින් යැයි වෛද්‍යවරු පසුව පැහැදිලි කළහ.
ආචාර්ය මන්මෝහන් සිං, දේශපාලනඥයකු සහ ආර්ථික විශේෂඥයකු පමණක් නොව, විද්වතකු සහ කෘතහස්ත රාජ්‍ය නිලධාරියෙකි. ඔහු ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයාය.
සිං උපන්නේ, ගාහ් නමැති ගම්මානයේය. අද මෙම ගම්මානය පිහිටි ප්‍රදේශය වන්නේ ඉන්දියාවට නොව පාකිස්තානයටය. සිං 1932 සැප්තැම්බර් 26 වන දින ගුර්මුක් සිං කෝලි සහ අම්රිත් කෞර්ට දාව උපත ලැබීය. කුඩා කාලයේදීම සිංගේ මව මියගියාය. පියාගේ මව ජම්නා දේවි යටතේ සිං හැදී වැඩුණි. සිංගේ මුල් පාසල් අධ්‍යාපනය වයස අවුරුදු 10 දක්වා උර්දු මාධ්‍යයෙන් සිදුවිය. පසුව ඔහු පෙෂාවර් ඉහළ ප්‍රාථමික පාසලකට ඇතුළත් විය. වසර ගණනාවකට පසු අගමැති ධූරයට පත් වුවද, සිං ඔහුගේ හින්දි බස කතා කළේ උර්දු බසින් ලියා ගනිමිනි. ඊට අමතරව, සිං ඔහුගේ මව් භාෂාව වූ පන්ජාබ් ලිවීමට භාවිතා කරන ගුරුමුඛී අක්ෂර මාලාවද භාවිතා කළ බව පැවැසෙයි. 1947 දී ඉන්දියාව පාකිස්තානය යනුවෙන් මුස්ලිම්වරුන් වෙන්වෙන් බෙදී වෙන් වෙද්දී, සිංගේ පවුල සාමාජිකයෝ ඉන්දියාවට සංක්‍රමණය වූහ. ඉන්දියාවට සංක්‍රමණය වීමෙන් පසු, සිං සහ පවුලේ සාමාජිකයෝ පදිංචිය සඳහා උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හල්ද්වානි තෝරා ගත්හ. මන්මෝහන් සිංගේ බිරිඳ ගුර්ශරන් කෞර් ය. දෙදෙනා විවාහ වූයේ 1958 වසරේදීය. යුවළට දරුවෝ තිදෙනෙකි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු සිං 1966-1969 කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළේය. 1970 සහ 1980 වසරවලදී, සිං ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙසත්, (1972-1976), සංචිත බැංකු අධිපති ලෙසත් (1982-1985), සැලසුම් කොමිෂන් සභාවේ ප්‍රධානියා ලෙසත් (1985-1987) එම ප්‍රධාන තනතුරු දැරීය.
1991 වසරේ දී, ඉන්දියාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. ඒ වනවිට පී.වී. නරසිංහ රාඕ අභිනවයෙන් අග්‍රාමාත්‍ය දුරයට තේරී පත්වූවා පමණි. ඔහු කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති මන්මෝහන් සිං රටේ මුදල් ඇමැති ලෙස පත් කරමින් කැබිනට් මණ්ඩලයට එක් කර ගත්තේය. ඉදිරි වසර කීපයේ, විපක්ෂයේ දැඩි විරෝධය මැද, ගැරැහුම් සහ අපහාස මැද ආචාර්ය සිං, ඉන්දීය ආර්ථිකය ලිබරල්කරණය කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ කීපයක් ද සමඟිනි. එය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මඟ පෑදීය. දක්ෂ ආර්ථික විශේෂඥයකු ලෙස ගෝලීය පිළිගැනීමකට ලක් වුවත්, බලයේ සිටි කොංග්‍රසය 1996 වසරේ පැවැති මහ මැතිවරණයේ දී විශාල පසුබෑමකට ලක් විය. 1998 සිට 2004 දක්වා, එදා ජනතා පක්ෂ අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි රජය සමයේ, ඉන්දීය රාජ්‍ය සභාවේ (ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය) විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ සිංය.
2004 වසරේදී, කොංග්‍රසය ප්රමුඛ එක්සත් ප්රගතිශීලී සන්ධානය බලයට පත් වූ විට, එදා එහි සභාපතිනිය ලෙස කටයුතු කළ සෝනියා ගාන්ධි, අග්‍රාමාත්‍ය ධුරයට සුදුසු කවුරුන්දැයි සෙවීය. ඒ පක්ෂය තුළ කැලැඹීමක් ඇති කරමිනි. පසුව අවසානයේ ඇගේ තේරීම වූයේ ආචාර්ය සිං ය. මෙය මන්මෝහන් සිං පවා අපේක්ෂා කළ දෙයක් නොවිණි. ඝාතනයට ලක්වුණු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ බිරිඳ සෝනියා ගාන්ධි ඉතාලි ජාතික කාන්තාවක බැවින් ඇයට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩක් තිබුණේ නැත. එහෙයින් ඇය අග්‍රාමාත්‍ය ධුරය මන්මෝහන් සිංට දී, ඔහු පසුපස සෙවනැල්ලක් වූ බව රහසක් නොවෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ඇතුළු ප්‍රධාන නීති සහ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරද්දීය. 2008 දී, එක්සත් ජනපදය සමග ඓතිහාසික සිවිල් න්‍යෂ්ටික ගිවිසුමකට විරුද්ධ වූයේ ද ආචාර්ය සිංය. 2009 වසරේ දී, ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක හවුලට ඉන්දියාව එක් කරමින්, එම හවුල පිහිටුවීමේ පුරෝගාමියකු ලෙස සැලකෙන්නේ ද මන්මෝහන් සිං ය.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි