විද්‍යාඥයන් මවිත කරන සොම්බේරෝ



ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශයට යවා, එහි රඳවා ඇති සුවිශේෂී දුරේක්ෂයක් ලෙස ජේම්ස් වෙබ් සැලකිය හැකිය. අද භාවිතයට ගැනෙන අභ්‍යවකාශ දුරේක්ෂ අතරින්, ජේම්ස් වෙබ් දුරේක්ෂය, සුවිශේෂී වන්නේ හේතු කීපයක් නිසාය. ඒ අතරින් ප්‍රධාන හේතුව වන්නේ, ජේම්ස් වෙබ් සතු අධෝරක්ත කැමරා පද්ධතියයි. මේ දුරේක්ෂය අභ්‍යවකාශය ගවේෂණය කරන්නේ මෙම කැමරා පද්ධතියේ ආධාරයෙනි. දැන් මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයට ගනිමින්, නාසා ආයතනයේ විද්‍යාඥයන් විශ්වයේ ඇති ඉතා අලංකාර ගැලැක්සියක් හෙවත් මන්දාකිණියක් අධ්‍යයනය කිරීමට පටන්ගෙන තිබේ. මේ නව මන්දාකිණිය ඔවුන් විසින් නම් කර ඇත්තේ සොම්බේරෝ යනුවෙනි.

මේ සටහන සමඟ පළවන්නේ නාසා විද්‍යාඥයන්, වෙබ් දුරේක්ෂය ආධාරයෙන් ලබා ගත් සොම්බේරෝ මන්දාකිණියේ ඡායාරූපයකි. මේ වෙබ් දුරේක්ෂයේ ප්‍රධාන වර්ගයේ කැමරා පද්ධති දෙකක් තිබේ. එකක්  ‘නිර්කැම්’ (NirCam) කියා කෙටියෙන් හැඳින්වෙයි. එය ‘ආසන්න අධෝරක්ත කැමරාව’ (Near InfraRed Camera) කියා නම් කර තිබේ. අනෙක් කැමරා පද්ධතිය ‘මීරි’ (MIRI) යන කෙටි නමින් හැඳින්වෙන ‘මධ්‍ය අධෝරක්ත උපකරණය’ (Mid InfraRed Instrument) යනුවෙන් නම් කර ඇති කැමරා පද්ධති යයි. මෙම කැමරා පද්ධති දෙකෙන් ද සොම්බේරෝ මන්දාකිණියේ ඡායාරූප ලබා ගෙන ඇත්තේ ‘මීරි’ කැමරා පද්ධතියේ ආධාරයෙනි. සොම්බේරෝ මන්දාකිණිය M104 නැතිනම් Messier 104 යන කේත නාමයෙන් ද හැඳින්වෙයි.

සොම්බේරෝ මන්දාකිණිය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 29.35 ක දුරිනි. ආසන්න වශයෙන් තාරකා බිලියන 100 කට කිට්ටු ගණනක් මෙම මන්දාකිණියෙහි ඇතැයි සැලකේ. මෙම මන්දාකිණියේ අරය හෙවත් එහි මැද සිට දාරය තෙක් දුර පමණක් ආලෝක වර්ෂ 25,000 ක් යැයි ගණනය කර ඇත. මෙම මන්දාකිණියේ න්‍යෂ්ටියේ අධෝරක්ත කලාපය පැහැදිලිව දැක ගන්න ජේම්ස් වෙබ් ලබා දුන් ඡායාරූප සමත් වී ඇත.

සොම්බේරෝ මන්දාකිණිය අනෙක් මන්දාකිණි මෙන් නොව‍, සුවිශේෂී එකකි. එසේ වන්නේ කුමක් නිසාද? එක් හේතුවක් වන්නේ මෙම මන්දාකිණියට අනන්‍ය වූ, එසේත් නැතිනම් මෙම මන්දාකිණියට පමණක් සුවිශේෂී වූ, හැඩයක් පැවැතීමය. ඒ නිසා මන්දාකිණි විශාල ප්‍රමාණයක් අතරින් ඉතා පහසුවෙන් මෙම මන්දාකිණිය හඳුනා ගැනීමට හැකිය. ඒ, මෙහි සුවිශේෂී හැඩය සහ පෙනුම නිසාය. මේ මන්දාකිණිය ‘සොම්බේරෝ’ යන නමින් විද්‍යඥයන් නම් කර ඇත්තේ ද සොම්බේරෝ තොප්පියේ පෙනුම සිහි ගන්වන බැවිනි. සොම්බේරෝ තොප්පියක් සිහිගන්වන මෙම අපූරු හැඩය මන්දාකිණියට ලැබී ඇත්තේ මෙම මන්දාකිණිය වටා කක්ෂගතවී ඇති දූවිලි සහ වායු අංශු නිසා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.  

සොම්බේරෝ මන්දාකිණිය සුවිශේෂී වන දෙවැනි කාරණාව වන්නේ, මෙම මන්දාකිණියේ න්‍යෂ්ටියෙන් වැඩි ආලෝකයක් නිකුත් කිරීමය. අපේ වඩාත් සමීප මන්දාකිණිය වන්නේ ‘ඇන්ඩ්‍රෝමීඩා’යි. එය සොම්බේරෝ සමඟ සන්සන්දනය කළොත්, වැඩිපුර මධ්‍ය ආලෝකයක් විහිදුවනු දකින්නට ලැබෙන්නේ මෙම සොම්බේරෝ මන්දාකිණියෙනි. ඡායාරූප සන්සන්දනය කිරීමේ දී එය බොහොම පැහැදිලිව පැවැසිය හැකිය. මෙලෙස මහ දැවැන්ත ආලෝකයක්, සොම්බේරෝ මන්දාකිණියෙන් නිකුත් වෙන්නේ, මෙහි ඇති අවුරුදු බිලියන ගණනක් පැරැණි තරු මන්දාකිණිය මධ්‍යයට ආසන්නව කක්ෂගතව තිබීමය.

සොම්බේරෝ මන්දාකිණිය සුවිශේෂී යැයි විද්‍යාඥයන් පෙන්වා දෙන තෙවැනි කාරණාව වන්නේ, මෙම මන්දාකිණියේ ගෝලීය තාරකා පොකුරු වැඩි ප්‍රමාණයක් දකින්න ලැබීමයි. විද්‍යාඥයන් මේ වන විට සොයාගෙන ඇති ආකාරයට අනුව, සොම්බේරෝ මන්දාකිණිය තුළ ගෝලීය තාරකා පොකුරු පමණක් 2,000 කට වැඩි ගණනක් ඇත. මෙම තාරකා පොකුරුවල වයස අපගේ මන්දාකිණිය හෙවත් ක්ෂීරපථයේ වයසට වඩා වැඩි යැයි විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇත.

සිවුවැනි කාරණාව මෙම මන්දාකිණිය මධ්‍යයේ අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන ගණනක ස්කන්ධයක් පවතින දැවැන්ත කළු කුහරයක් තිබීම යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම මන්දාකිණිය ආලෝක වර්ෂ මිලියන 29.35 ක දුරකින් පිහිටා තිබුණත් එහි මැග්නටියුඩ් අගය ධන 8 ක් ලෙස සැලකෙයි. මෙම අගය තව අඩු වූවා නම්, අපට පියවි ඇසින් පවා මෙම මන්දාකිණිය දැක ගැනීමට හැකියාව ඇතැයි විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

ආලෝක වර්ෂයක් යනු එක් වර්ෂයක් තුළ දී ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එක් තත්පරයක් තුළ ආලෝකය කි.මී. 2,97,600ක් එනම් සැතපුම් 1,86,000 පමණ දුරක් ගමන් කරයි. ඒ අනුව ආලෝකය එම වේගයෙන් වසරක් තිස්සේ යන දුර එක ඒකකයක් සේ ගෙන මෙම දුර ප්‍රමාණ මනිනු ලබයි.

තාරකාවලින් ද අන්තරීක්ෂ ධූලි සහ වායුවලින් ද නිර්මාණය වුණු සුවිසල් පද්ධතියක් ලෙස මන්දාකිණිය හැඳින්විය හැකිය. මන්දාකිණිය චක්‍රාවාට යන නමින් ද හැඳින්වෙයි. ග්‍රහලෝක සේම, මන්දාකිණි ද භ්‍රමණය වෙයි. අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය වන්නේ ක්ෂීපථය හෙවත් කිරි සයුරය. තාක්ෂණයේ දියුණුවටත්, ප්‍රබල දුරේක්ෂ නිර්මාණයටත් පෙර, අප කිරි සයුර හැර, පෘථිවියේ සිට බලද්දී, පියවි ඇසින් දකින්න ලැබුණේ ඇන්ඩ්‍රෝමිඩා පමණි. විශ්වයේ මන්දාකිණි බිලියන 500 ක් ඇතැයි අනුමාන කෙරේ. 

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS