ජිමී කාටර්ගේ සමුගැනීම
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්, වසර 100 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. ඒ, ඇමෙරිකාවේ වයස්ගතම හිටපු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි. කාටර් රටකජු ගොවිපොල හිමිකරුවෙකි. ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කළේ 1977 සිට 1981 දක්වා කාලයේය. ඩිමොක්රටික් පාක්ෂිකයකු වන කාටර්, ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ එක් ධුර කාලයක් පමණි. කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවෙකි.
ජිමී කාටර් අවසන් සුසුම් හෙලුවේ, ජෝර්ජියා ජනපදයේ, ප්ලේන්ස් පිහිටි සිය නිවසේදීය. කාටර්, ඇමෙරිකාවේ ජීවතුන් අතර සිටින වයස්ගතම ජනාධිපති බවට පසුගිය ඔක්තෝබරයේ සිය 100 වැනි උපන් දිනය සමරද්දීය. පසුගිය මාස කීපයක කාලයේ, කාටර් දැඩි ලෙස රෝගී විය. ඒ චර්ම පිළිකා රෝගී තත්ත්වය උත්සන්න විමෙනි. ජිමී කාටර්, වැඩි කාලයක් ගත කළේ රෝහල්වලය.
ජේම්ස් අර්ල් කාටර් ජූනියර් (කනිෂ්ඨ) උපන්නේ 1924 ඔක්තෝබර් පළමු වැනිදාය. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ජිමී කාටර්ය. ජිමී කාටර්, ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයාය. බිරිඳ රොසලීන් 2023 දී දිවියෙන් සමුගත්තාය. මියයද්දී රොසලීන්ගේ වයස අවුරුදු 76 කි.
1976 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජිමී කාටර් ඇමෙරිකානුවන්ට දුන්නේ එකම එක පොරොන්දුවකි. ‘මා කිසි දිනෙක ඇමෙරිකන් ජනතාවට බොරු කියන්නේ නැහැ’ කාටර්ගේ පොරොන්දුව වූයේ එයයි. ඇමෙරිකානුවෝ ඔහු විශ්වාස කළහ. කාටර් ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා බවට පත් විය. ජනාධිපති ධුරයට පත්වීමට පෙර දේශපාලනයට පිවිසි කාටර් ජෝර්ජියා ජනපදයේ 76 වැනි ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය. ඒ, 1971 වසරේ සිට 1975 දක්වාය.
කාටර් ඇමෙරිකන් නාවික හමුදා භටයෙකි. නාවික හමුදා නිලධාරියෙකි. ඔහු ඔහුගේ උපාධිය හිමි කරගත්තේ නාවික හමුදා ඇකඩමියෙනි. ඒ, 1946 වසරේදීය. කාටර් ඇමෙරිකන් නාවික හමුදාවේ සම්බැරීන අංශයට සම්බන්ධ නිලධාරියෙක් විය. හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසු, කාටර්, පියාගේ රටකජු ව්‍යාපාරයට සම්බන්ධ විය. කාටර් රටකජු ව්‍යාපාරිකයකු වූයේ ඉන් අනතුරුවය. කාටර්ගේ මව හෙදියකි. කාටර් දේශපාලනයට අවතීර්ණ වූයේ රජකජු ව්‍යාපාර කටයුතු කරමිනි.
කාලගුණ විපර්යාසවලින් ලෝකයට සිදුවන හානිය අවබෝධ කර ගනිමින්, ඒ වෙනුවෙන් යමක් කළ යුතු යැයි අදහස් දැක්වූ පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ජිමී කාටර්ය. ඔහු ජාත්‍යන්තරය ජය ගත්තේ ඇමෙරිකාව සැබැවින්ම ලෝක බලවතා බව පසක් කර දෙමිනි. ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර ඓතිහාසික සාම ගිවිසුමක් ඇති කර ගැනීමට මැදිහත් වූයේ කාටර්ය. එහෙත්, ඉරාන ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධ සිද්ධියේ දී සහ සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේදීත් කාටර් ක්‍රියා කළ ආකාරය බොහෝ දෙනාගේ අප්‍රසාදයට පත් විය. එය ඔහුට කළු පැල්ලමක් වූවා පමණක් නොව, ඔහුගේ ධුර කාලය එකකට සීමා කිරීමට ද හේතු විය.
කාටර්ගේ එකම එක ධුර කාලය අවසන් වූයේ රිපබ්ලිකන් ජනපති ධුර අපේක්ෂක රොනල්ඩ් රේගන්ට පරාජය වීමෙනි. ධවල මන්දිරයෙන් නික්මුණු කාටර් සිය ප්‍රතිරූපය යළි නංවා ගැනීමට සමත් වූයේ සමාජ සේවා කටයුතුවල නියැලෙමිනි. ඔහු පිහිටුවූ ‘කාටර් පදනම’ ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිමිනි. අප්‍රිකා කලාපයේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, රෝග තුරන් කිරීමටත් කාටර් පදනම මැදිහත් වී කළ මෙහෙවර ඉමහත්ය. ජනපති ධුරයෙන් සමු ගැනීමෙන් පසු කාටර්, සාමය, පරිසරය සහ මානව හිමිකම් සඳහා වෙහෙස නොබලා කටයුතු කළේය. 2002 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් ඔහු පිදුම් ලැබුවේ එහෙයිනි.
සී.එන්.එන් ඇසුරිනි