අතීතය ආශිර්වාදයක් කරගත් ‘ලැන්ග්ටූ විලේජ්’



චීනයේ පුරාණ නගර සහ ගම්මාන කීපයක් පිහිටා ඇත්තේ ගුවන්ග්ෂූ පළාතේය. එයින් ද පුරාණ නගර සහ පුරාණ ගම්මාන තුනක් චීනයේ ඓතිහාසික සහ සංස්කෘතික ගොඩනැගිලි ලැයිස්තුවට ඇතුළත් වෙයි. 

ලැන්ග්ටූ ගම්මානය ඒ අතරින් කැපී පෙනෙනවා පමණක් නොව, එය සුවිශේෂ තැනක් ගනී. මේ ගම්මානය වසර 600 ක් පැරැණිය. මෙය යුවාන් රාජවංශය පැවැති සමයේ එනම් වර්ෂ 1271ත් - 1368 ත් අතර ඉදි කරන ලද්දකි. 

අද ලැන්ග්ටූ ගම්මානය ගැන දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ, පුරාණ දේ රැකගෙන, අලු‍ත් දේ අරගෙන, ලැන්ග්ටූ ගම්මානය පවත්වාගෙන යෑමට නගර බලධාරීන් කටයුතු කර ඇති බැවිනි.

ඓතිහාසික වටිනාකම රැකගෙන, ලැන්ග්ටූ ගම්මානය නවීකරණයට ලක්කිරීමේ දී හුවාඩු දිස්ත්‍රික්ක බලධාරීන්, නගර සංවර්ධන නිලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන ඇත. වසර 600 ක් පැරැණි ගම්මානයේ සුඛෝපභෝගී වෙළෙඳසල්, ප්‍රණීත ආහාර සපයන අවන්හල් දක්නට ලැබේ. ලැන්ග්ටූ ගම්මානය වාණිජ කේන්ද්‍රස්ථානයකි. 

ලැන්ග්ටූ ගම්මානය, සංචාරක ආකර්ෂණයක් වෙද්දී, එය ගම්මානයේ වැසියන්ට රැකියා දොරටු විවර කර දුන්නේය. ඔවුන්ගේ ජීවනෝපාය සපුරා දුන්නේය. පුරාණ ගම්මානය වටා පසුකාලීකව ඉදිකර තිබුණු ගැමි නිවාස සියල්ල කඩා දැමුණු අතර ඒවා වෙනුවට එම ගැමියන්ට අලු‍ත් නිවාස ඉදි කර ඇත.

ලැන්ග්ටූ ගම්මානයට එහි පුරාණ වෙස්වළාගත් ආශිර්වාදයකි. කෝපි අවන්හල්, ‘ලැන්ග්ටූ විලේජ්’ යන නමින් සුඛෝපබෝගී හෝටල් මාලාවක් ද ගම්මානයට ළංව ඉදිකර ඇත. ඒ පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය සියලු‍ පහසුකම් ද සමඟිනි. 

ලැන්ග්ටූ ගැමියන්ට ඔවුන්ගේ බඩු බාහිරාදිය විකිණීම සඳහා සල්පිල් රැසක් රජයේ අනුග්‍රහයෙන් ඉදිකර දී ඇත. ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට එය ද හේතුවක් වී ඇත. ලැන්ග්ටූ ගම්මානයේ වෙන වෙනම 31 දෙනකුට නවාතැන් පහසුකම් ලබා දී ඇත. ඒ, අවශ්‍ය සියලු‍ දේ සමගිනි. පිහිනුම් තටාකයක්, ආහාර ගැනීමට වෙනම ස්ථානයක් ආදිය ද සමඟය. තාක්ෂණය භාවිතයට ගනිමින්, අතිනවීන පහසුකම්වලින් සමන්විත පුස්තකාලයක් ද එහි ඇත.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලාංකික මාධ්‍ය කණ්ඩායමකට ගුවන්ග්ෂූ පළාතේ පමණක් නොව, ලැන්ග්ටූ ගම්මානයේ ද සංචාරය කිරීමට ඉකුත් දා අවස්ථාව උදා විය. එහිදී චීන බලධාරීන් පෙන්වා දුන්නේ, ලැන්ග්ටූ ගම්මානය, 2014 වසරේදී , චීනයේ සුප්‍රසිද්ධ ඓතිහාසික ගම්මාන’ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු බවය.

ලැන්ග්ටූ ගම්මානය පැවැති තත්වයෙන් පවත්වා ගැනීමත්, එය වටා නවීන සංචාරක කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමත් සිදුකර ඇත්තේ යුවාන් මිලියන 200 ක පමණ මුදලකට බව චීන රජය පෙන්වා දෙයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම මත ඉදිරියට ද ලැන්ග්ටූ ගම්මානය කෙන්ද්‍ර කර ගනිමින් සහ වෙනත් ඉපැරැණි ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් මේ අයුරින් සංචාරක ආකර්ෂණීය ස්ථාන ඉදි කිරීම කෙරෙහි චීන බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

චීනයේ ලැයිස්තුගත ඓතිහාසික හා සංස්කෘතික ගම්මානවලින් එකක් ලෙස, ලැන්ග්ටූ ගම්මානය අධ්‍යයනය සහ ගොවිතැන පිළිබඳ දිගු සම්ප්‍රදායක් සහිත ගම්මානයක් බවට ප්‍රකටය. ලැන්ග්ටූ ගම්මානය පිහිටා ඇත්තේ වර්ග මීටර් 60,000 කට වඩා වැඩි ප්‍රදේශයක් පුරාය.

මිං සහ කිං රාජවංශවල ඉදිකරන ලද උළු ගඩොල් ගොඩනැගිලි 388 ක් එහි ඇත.  වැඩිහිටියන්ගේ ශාලා, අධ්‍යයන, ඇකඩමි, විවේකාගාර, ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන ආකර්ෂණීය ගොඩනැඟිලි අතර කැපී පෙනෙයි.  ඒවායින් බොහොමයක් ක්විං රාජවංශ (1636-1912) සමයේදී ද තවත් කීපයක් මිං රාජවංශ (1368-1664)  සමයේදී ද ඉදිකර ඇත.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

 


RECOMMEND POSTS