වරාය නගර ව්‍යාපෘතියට බලපෑමක් නෑ



ඇමෙරිකා එක්සත් ජනපදය, චීනයේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සමාගම් 24කට පැනවූ සම්බාධකවලින් ‘කොළඹ වරාය නගර ව්‍යාපෘතිය’ට කිසිදු බලපෑමක් නැතැයි කොළඹ වරාය නගර සමාගමේ ප්‍රධාන මහජන සබඳතා නිලධාරී කාශ්‍යප සෙනරත් මහතා මැදපෙරදිග ලංකාදීපයට පැවැසීය.

මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ චීනය කරන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව චීන ව්‍යාවසය 24කට සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.

කොළඹ වරාය නගරයේ ආයෝජනය කර ඇත්තේ චීනයේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ වන අතර ඇමෙරිකාව සම්බාධක පනවා ඇත්තේ අදාළ මවු සමාගමට නොව ඊට අනුබද්ධිත හා උප සමාගම්වලට යැයි ද සෙනරත් මහතා කීය.

සම්බාධකවලට ලක්වූ ලැයිස්තුවේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ සමාගම ‘චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි’ සමාගමට අදාළ අනු හා උප සමාගම් තිබෙන බැවින් බටහිර මාධ්‍ය අදාළ සමාගම්වලට සම්බාධක පැනවූ අයුරින් මාධ්‍ය වාර්තා පළ කර ඇතැයි ද ඔහු කීය.

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් කෙරෙන්නේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ සමාගමේ කොටසක් ‘චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි (සී.එච්.ඊ.එච්)’ සමාගම හරහා නිර්මාණය කළ ‘සී.එච්.ඊ.එච්’ පෝර්ට් සිටි කලම්බු පෞද්ගලික සමාගම හරහා ය.

‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’, කොළඹ වරාය නගරය වෙනුවෙන් කර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4කි.

ඇමෙරිකාව පැනවූ මෙම සම්බාධකවලින් කොළඹ වරාය නගරයට කිසිදු බලපෑමක් නැතැයි තවදුරටත් තහවුරු කළ සෙනරත් මහතා සම්බාධක පනවා ඇත්තේ තෙවැනි පාර්ශවයක් වන බවත් සම්බාධකවල බලපෑම ඇත්තේ ඇමෙරිකානු සමාගම්වලට යැයි ද කීය.

කොළඹ වරාය නගරයේ භූමිය ගොඩ කිරීම සහ දිය කඩනය ඉදි කිරීම යන කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් මේ වනවිට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සෙනරත් මහතා කීවේය.

මේ අතර කොළඹ වරායේ නගරයේ ඉදි කෙරෙන මුහුදු වෙරළ සහ මහජන උද්‍යානය ලබන වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මහජනාතවට විවෘත කරන බව ද ඔහු තවදුරටත් කීය.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS