2025 සුබම වේවා !!!!
අපිටත් නොදැනීම ඕං ඉතින් ට්රැක්ලන්තේ තවත් වසරක් ඉවර වුණා. හැමදාමත් වගේ එක්තරා පිරිසක් මෙලෝ වැඩකට නැති විදිහට අවුරුද්දක් කාබාසිනියා කරන අතරේ තවත් පිරිසක් වැඩදායී විදිහට සාර්ථකව 2024 ඉවර කරලා. ඕං ඉතින් අර කාබාසිනියා කරපු අයටයි ඊළඟ අවුරුද්දේ ඉදලම හැදෙනවා කියලා හිතපු අයටයි තමයි මේ 2025 .
එහෙක් කොරලා මෙහෙක් කොරද්දි 2024 ඉවර වුණා කියලා දැණුනට එසේ මෙසේ විදිහට ඉවර වුණ අවුරුද්දක් නෙමෙයි මේක. ඇස් උඩ යන කර ඇරවෙන , ඔලුවේ අත ගැහෙන සිදුවීම් මාලාවක් ඇහෙන්න දකින්න ලැබුණ අවුරුද්දක් මේක.
ත්රාසය , භීතිය, කුතුහලය, බය, සතුට, විනෝදය, තරහා, පිළිකුල ආදී එකී මෙකී නොකී හැඟීම් දැනීම් රාශියක් එකතුවෙලා ගෙවුණු අවුරුද්දක් විදිහට 2024 අවුරුද්ද ඉතිහාස පොතේ රන් අකුරුන් ලියන්න පුළුවන් ..
ආර්ථිකය වැටුනා ඊට පස්සේ ආපහු නැගිට්ටා රුපියලේ අගේ කාලගුණේ වගේ ඉහළ පහල ගියා, ඒවා ඉහළ පහල යද්දි ජනතාවගේ පවුල් බරෙත් ඒ වගේම බර අඩු වැඩි වුනා. වෙලාවකට පාලකයට හොඳ කියලා ඊට පහුවෙනිදා අම්මා මුත්තා මතක් කරන්න වෙන තරමට බඩු මිල ඉහළ පහළ ගියා.
ක්රිකට් ඔස්තාර්ලා එකතුවෙලා අපේ ක්රිකට් ක්රීඩකයන්ට ක්රිකට් ගහන්නත් කියලා දුන්නා. විහිලුවටවත් ක්රිකට් බැට් එක අතින් අල්ලලා නැති උන්දැලා කී බෝර්ඩ් උඩ නැගගෙන බුකියේ පෝස්ට් දැම්මා ක්රිකට් ගහන විදිහ ගැන. එක මැච් එකකදි ක්රීඩකයන් දෙයියා ලෙස සලකන ට්රැක් වැසියොම මැච් එක ඩාම් ඩූම් වෙද්දි ඒ ක්රීඩකයන්වම ටොමියා ගානට දාලා කතා කරා.
ඊට පස්සේ නැවගිලුනත් බෑං චූන් කියලා ගංවතුරේ ඛේදනීය තත්වයත් එක්ක අක්කලා නංගිලා ඇන්ටිලා අංකල්ලා ටික් ටොක් කරා. ගෙවල් දොරවල් හේදිලා නැති බංගස්ථාන වෙලා තියෙද්දි ගං වතුරේ බැහැගෙන පීන පීන ට්රැක්වාසීන් ෆුල් ෆන් එකක් ගත්තා.
ආන්දෝලනාත්මක විදිහට ආණ්ඩු පෙරලියකුත් වුණා. අවුරුදු ගණනක් බලය නොලැබුන පක්ශයක් ජයග්රහණය කරා. ට්රැක් වාසින් හැමෝම ඇස් දෙක ටෙනිස්බෝල සයිස් කරන් ඡන්ද ප්රතිඵල බලන්න තරම් උණුසුම් තරගයක් තිබ්බා.
ඕං ඔහොමයි 2024 ඉවර වුනේ. 2025 වසරේ අර කිව්වත් වගේ හැදෙන්න හිටපු අයට හැදෙන්න පුළුවන් වෙන විදිහේ වැඩදායි වසරක් වේවා කියලා ප්රාර්ථනා කරමු.
ලියන්නේ - ජයනි සිතාරි අල්විස්