සීමා නැති සයිබර් අවකාශය
භෞතික ලෝකයේ මෙන් නොව සයිබර් අවකාශය මිනිසාගේ නිර්මාණයකි. භෞතික ලෝකයට සීමා තිබුණ ද සයිබර් අවකාශයට සීමා නැත. විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය සමඟ භෞතික ලෝකය කුඩා වී සයිබර් අකාශය ව්‍යාප්ත වී ඇත. සයිබර් අවකාශය මිනිසා සමඟ බද්ධව පවතී. මානව ජීවිතය පවත්වාගෙන යාමේ අවශ්‍ය කොන්දේසියක් වූ සයිබර් ක්‍රියාකාරිත්වය ධනාත්මක සහ සෘණාත්මක වශයෙන් සමාජය තුළ ක්‍රියාත්මක වේ. පරිගණක උපාංග හෝ පරිගණක ජාල යොදාගෙන කරනු ලබන අපරාධ සයිබර් අපරාධ වේ. වර්තමාන විදුලි සංදේශ ජාලකරණයට අන්තර්ජාල, ජංගම දුරකථන ආදිය භාවිත කරමින් කෙනෙකු විසින් තවත් කෙනෙකුට හෝ කණ්ඩායමකට විරුද්ධව හෝ අපරාධයක් කිරීමේ චේතනාවෙන් කීර්ති නාමයට හෝ භෞතික හෝ මානසික වශයෙන් සෘජුව හෝ වක්‍රව හෝ කරනු ලබන අපරාධයක් සයිබර් අපරාධයක් ලෙස හදුනාගත හැකිය. සයිබර් අපරාධ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණ වීම, පුද්ගලයන්ට විරුද්ධව සිදු කරනු ලබන අපරාධ ගණයට අයත් වේ. වර්තමානය වන විට අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික ආරක්ෂාවට හානි පැමිණවීම බරපතල අපරාධයක් බවට පත්ව ඇත. යම් පුද්ගලයෙකුගේ අති සංවේදී වූ මිල කළ නොහැකි පෞද්ගලික තොරතුරු අන්තවාදී ලෙස අවභාවිතා කිරීම මෙම සයිබර් අපරාධ ඔස්සේ සිදු වේ.
සයිබර් අපරාධ සිදුවන ආකාර කිහිපයක් හදුනාගත හැකිය. අනවසරයෙන් වෙබ් අඩවි වලට ප්‍රවිෂ්ට වී එහි දත්තයන් වෙනස් කිරීම (Hacking), පිටස්තර දත්ත ගබඩාවල ක්‍රියාකාරිත්වය ග්‍රහණයට ගැනීමෙන් වෙනත් දත්ත ගබඩා වෙත ප්‍රවිෂ්ට වීමෙන් ඒවායේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම (Botnet Attack), මෘදුකාංග භාවිතයෙන් වෙබ් අඩවි සම්පූර්ණයෙන් වෙනස් කිරීම, වෙබ් අඩවි වලට තොරතුරු අනවසරයෙන් ඇතුළත් කිරීම (Jumping Script) අන්තර්ජාලයේ පවත්වා ගෙන යනු ලබන ප්‍රසිද්ධ මිතුරු හවුල් සහ වෙබ් අඩවි වලට අවසරයකින් තොරව පුද්ගලික තොරතුරු ඇතුළත් කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් අපහාස වන ආකාරයට ලිංගික දත්ත ඇතුළත් කිරීම, වෙබ් අඩවි මඟින් ප්රවෘත්ති විකාශනය කිරීමෙන් රටේ මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ක්‍රියා කිරීම, පවතින පිළිගත් වෙබ් අඩවි ලෙස පෙනී සිටිමින් මහජනතාව ඒවායේ සේවාවන් ලබා ගැනීම සඳහා පොළඹවමින් වංචා කිරීම සහ පද්ධතියේ ක්‍රියාවලිය වෙනස් කිරීමට තොරතුරු ලබා ගැනීම, විද්‍යුත් තැපැල් (E-mail) තොග පිටින් එවීම (E-mail bomb/Spam), ජාලගතව සිදු කරනු ලබන සේවාවන් අඩාල කිරීම, ව්‍යාජ ලෙස දැන්වීම් ප්‍රචාරය කරමින් මහජනතාව වෙත එම භාණ්ඩ මිල දී ගැනීමට පොළඹවමින් මුදල් වංචා සිදු කිරීම ආදිය බහුලව සිදු කරනු ලබන සයිබර් අපරාධ ලෙස හදුනාගත හැකිය.
අන්තර්ජාලය වෙත පිවිසෙන පිරිසේ බහුතරයක් වයස් මට්ටම 25 ත් 29 ත් අතර තරුණ පිරිස වන අතර බහුතරය නාගරික පරිසරය නියෝජනය කරනු ලබයි. මෙම සයිබර් අපරාධයට ලකවූවන්ගෙන් 60% ක් පමණ ස්ත්‍රී පාර්ෂවය වේ. බහුල වශයෙන් අපරාධයන් සිදු වන්නේ ව්‍යාජ ගිණුම් සහ සමාජ මාධ්‍ය හරහාය. ඉන් 80% ක් පමණ ව්‍යාජ ගිණුම් භාවිතා කරමින් සිදු කරනු ලැබූ අපරාධ වේ. අන්තර්ජාලය භාවිතයේ දී බහුලව භාවිතා කරන මාධ්‍යය වන්නේ ජංගම දුරකථනයයි. දෛනිකව අන්තර්ජාලය වෙත ප්‍රවේශ වන ප්‍රමාණය ඉහළය. එම නිසා සයිබර් අපරාධයන්ට ගොදුරුවීමට පවතින ඉඩ වැඩිය. ඊට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක්කේ නව මාධ්‍ය සාක්ෂරතාව අඩු මට්ටමක පැවතීමයි. නව මාධ්‍ය තුළ පවතින අසීමාන්තික නිදහස හේතුවෙන් බොහෝදෙනා සීමාවකින් තොරව තම පෞද්ගලික තොරතුරු මුදාහැරීම සිදු කරනු ලබයි. `තවද සයිබර් අපරාධයකට පත් වූ අවස්ථාවක දැනුවත් කළ යුත්තේ කවුරුන් ද යන්න පිළිබදව ද ග්රාහකයන් බහුතරයකට දැනුමක් නැති බවද හඳුනා ගත හැකිය. එම නිසා නව මාධ්‍ය උත්තරාරෝපිතව පැමිණි මාධ්‍යක් බැවින් එය ශ්‍රී ලාංකේය පරිසරයට උචිත වන ලෙස සැකසීම කළ යුතු අතර ග්රාහකයාට නව මාධ්‍ය පිළිබඳ සාක්ෂරතාව ලබා දිය යුතුය.
ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධයන්හි ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු කිරීමේදී සයිබර් අපරාධ ව්‍යවසනය මුළු රට පුරාවටම වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. සයිබර් අපරාධ අතරින් වඩාත් ගැටලුකාරී වන්නේ ෆේස්බුක් ආශ්රිත අපරාධ සහ පුද්ගලයන්ට එරෙහි සයිබර් අපරාධ සිදු කිරීමයි. මේවා අතරින් වඩාත් කැපී පෙනෙන ක්‍රෙඩිඩ් කාඩ් වංචා, ලිංගික පලිගැනීම්, බුද්ධිමය දේපළ සොරකම් කිරීම, අනවසර හා සංවේදී දත්ත සැකසීම මෙන්ම රජයේ වෙබ් අඩවි වලට ත්‍රස්තවාදය සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධ ගැටලු ඒ අතර ප්‍රධාන වේ.
සයිබර් අපරාධ පිළිබඳව ප්‍රථමයෙන්ම පැමිණිලි කළ යුත්තේ තමා ළඟම ඇති පොලිස් ස්ථානයටය. පොලිස් ස්ථානයේ තිබෙන සයිබර් අපරාධ අංශය හා අන්තර්ජාල අපරාධ පිළිබඳ ව පැමිණිලි කිරීමේ මධ්‍යස්ථානයට එම පැමිණිලි ඉදිරිපත් කළ යුතු ය. තව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) වෙත සයිබර් අපරාධ සම්බන්ධව පැමිණිලි කිරීමට පුළුවනි. මෙම සංසදය ශ්‍රී ලංකාව තුළ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධව පරීක්ෂණ කරන ප්‍රධාම ආයතනයයි. මෙම ආයතනය මඟින් අන්තර්ජාල භාවිතය සම්බන්ධව ඇතිවන ගැටලු වලදී උපදෙස් ලබා ගත හැකි අතර, එමඟින් එම ගැටලු විසදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම මෙන්ම එම ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ද මෙම ආයතනය මඟින් ලබා දෙනු ලැබේ. මෙම ආයතනයට යොමුවන ගැටලු අතර විශාල ප්‍රමාණයක් යොමු වන්නේ ලොව ප්‍රමුඛතම මිතුරු ජාල සේවා වෙබ් අඩවිය වන Facebook වෙබ් අඩවිය සම්බන්ධවය. එසේම පරිගණක අපරාධ සම්බන්ධව අධිකරණයට යොමු වූ අවස්ථාවන් වලදී එම අපරාධයට අදාළ තාක්ෂණික උපදෙස් ද අදාළ පනත ප්‍රකාරව අධිකරණයට සැපයීමට මෙම ආයතනය කටයුතු කරයි.
එසේ ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද එම පැමිණිලි ඉදිරීපත් කිරීමට හැකියාවක් පවති. කොළඹ එහි ඇති ප්‍රධාන කාර්යාලයට මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිලි කිරීමට හැකියාවක් තිබේ. මෙසේ පැමිණිලි කිරීමෙන් පසු ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ පිළිබඳ ව පනත් කිහිපයක්ම පවතී. මෙරට තුළ පරිගණක භාවිතා කරන පිරිස ඉහළ යාමත් සමඟ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සම්මත කිරීමට ව්‍යවස්ථාදායකයට සිදු විය. මේ පනත පැනවීමේ අරමුණ ලෙස එහි පූර්විකාවේ සඳහන් වන්නේ "පරිගණක අපරාධ හඳුනා ගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතක්" වශයෙනි.
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පරිගණක අපරාධ හඳුනාගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැලැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස විධිවිධාන සපයයි. 2005 අගෝස්තු 23 වන දින පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරනු ලැබූ අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ‘බී’ ස්ථාවර කාරක සභාවේදී පුළුල් ලෙස ප්‍රතිශෝධනය කරන ලදී. 2007 මැයි මාසයේදී එය නීතියක් ලෙස පැනවූ අතර 2007 ජුලි 9 දින කථානායකතුමා විසින් සහතික කරන ලදී. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ පදනම වනුයේ පරිගණකයක්, පරිගණක වැඩසටහනක්, දත්ත හෝ තොරතුරු වෙත නිත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම අපරාධයක් ලෙස හඳුනා ගැනීමයි. එසේම පරිගණයක් වෙත ප්‍රවේශ වීමට වරදරකරුට අධිකාරි බලයක් තිබුණේද යන්න නොතකමින් නිත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ විධිවිධානයක්ද එහි ඇතුලත් වේ.
අධිකාරි බලයක් නොමැතිව අනවසරයෙන් දත්ත වෙනස් කිරීම, වෙනස් කිරීම හෝ මකා දැමීම මෙම පනත අනුව වරදක් වන අතර අධිකාරි බලයක් සහිත පුද්ගලයෙකුට ප්‍රවේශය අත්කර ගැනීම වැළැක්වීම පිණිස පරිගණකයේ වැඩසටහන් සකස් කිරීමද වරදකි. පරිගණක වෛරස් වැඩසටහන්වල නිශ්චිත කාර්ය වෙනස් කිරීම සඳහා කේත ඇතුලත් කිරීම මගින් පරිගණකයට හානි හෝ අලාභ කිරීම, තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම, පරිගණක සේවා අධිකාරී බලයක් නොමැතිව භාවිතා කිරීම සහ එක් පරිගණකයක සිට පරිගණකයකට පරිගණක වැඩසටහන්, දත්ත හෝ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ඒවා අත් කර ගැනීමද මෙම පනත යටතේ අපරාධ වේ. වැරදි විමර්ශනය සඳහා පනත නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. පරිගණක අපරාධ වැරදි විමර්ශනය කිරීමේදී පොලිසියට සහාය වීමට විශේෂඥ මණ්ඩලය පත් කිරීමට පනතේ විධිවිධාන සලස්වා ඇත.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයයේ තොරතුරු ආරක්ෂක ඉංජිනීයර් තිනුරි තිසේරා මහත්මිය මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි. අප ආයතනයට වඩාත්ම අපරාධ වාර්තා වෙන්නේ මුහුණු පොත, ටික් ටොක් සහ වට්සැප් මාධ්‍ය හරහා. කාලයෙන් කාලයට විවිධාකරයේ වූ නව අපරාධ රැල්ලන් නිර්මාණය වෙනවා. එය එක් එක් මාසවල පවතින විශේෂතා අනුව නිර්මාණය වීම සිදුවේ. නිදසුනක් ඔස්සේ එය තව දුරටත් විග්රහ කරනවා නම් අප්‍රේල් මාසයට අවුරුදු දීමනා සහ තෑගි, මැයි වෙසක් මාස වල ඩේටා දන්සල්, දෙසැම්බර් මාසයට නත්තල් තෑගී ආදී ලෙස පවසමින් වට්ස් ඇප්, ටෙලිග්‍රෑම්, මුහුණු පොත හරහා ලින්ක් හුවමාරු වීම සිදු වෙනවා. එම ලින්ක් වෙත පිවිසි විට සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමට යොදා ගන්න මුර පද, බැංකු ගිණුම්හි මුර පද සොරා ගැනීම සිදු කරනවා. ඊට අමතරව රැකියා ලබාදෙන බව පවසමින් පණිවිඩ යැවීම, තැපැල් කන්තෝරු මගින් පාර්සලයක් ලැබීමට ඇති බව පවසමින් පණිවිඩ යැවීම, ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීමට ඇතැයි කෙටි පණිවිඩ යැවීම ආදියද මේ දිනවල බහුලව සිදුවන අපරාධයන්.
පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් තවත් අපරාධ රැල්ලක් නිර්මාණය වෙමින් තියනවා. ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එනවා ඔයාගේ නිරුවත් ඡයාරූප ප්‍රචාරය වෙනවා මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මටත් මේ වගේම දෙයක් වුනා කියලා. කෘතීම බුද්ධි තාක්ෂණය මගින් ඡයාරූප සකස් කරලා එවනවා. ඒක අයින් කරගන්න මේ පුද්ගලයට කතා කරන්න නැත්තම් මේ සමූහයට එකතු වෙන්න කියලා ඒ කෙටි පණිවිඩය මගින් කියනවා. ඔවුන්ගේ ඊලග පියවර වෙන්නේ කෙටි පණිවිඩයක් එවනවා පාසල් නිල ඇදුමෙන් පැති පෙනුම ඉස්සරහ පෙනුම ජාතික හැදුනුම් පත සමග ඡයරූප එවන්න කියලා. පසුව පැති පෙනුම ඉස්සරහ පෙනුම ජාතික හැදුනුම් පත සමග නිරුවත්ව ඡයරූප එවන්න කියලා පණිවිඩයක් එනවා. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධව මේක අයින් කරන ක්‍රියාවලියක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. පාසල් ළමුන් මෙම වාංචනික ක්‍රියාවට රැවටීම බහුලව සිදු වෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි බහුලව වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව මන්නාරම, කිලිනොච්චිය, යාපනය ආදී ප්‍රදේශ වලින්ද පැමිණිලි වාර්තා වෙනවා. අවුරුදු 15 සිට 40 දක්වා වයස් පරාසය තුළ පුද්ගලයන්ගෙන් වාර්තා වන පැමිණිලි ප්‍රමාණය ඉහළයි. දිනකට දුරකථනය මගින් පැමිණි 100 කට වඩාත්, ඊ මේල් හරහා පණිවිඩ 100 ට වඩාත් වාර්තා වන අතර අයාතනයටද පුද්ගලයන් 30 පමණ පැමිණ පැමිණිලි වාර්තා කිරීම සිදු කරනවා. 2023 වසරට සාපේක්ෂව මේ අවුරුද්දේ පැමිණිලි වාර්තා වීම විශාල වශයෙන් ඉහළ අගයක් ගනු ලබනවා. 2023 වසරේ මාස 12 තුළ වාර්තා වූ මුළු පැමිණිලි ප්‍රමාණය 14207 කි. 2024 වසරේ පසුගිය මාස 8 ට පමණක් පැමිණිලි 14393 ක් වාර්තා වී තිබේ.
සයිබර් අපරාධයක් සිදු වූ විට ඒ සදහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සියල්ලම අප ආයතනය මගින් ලබාදෙනවා. අප ආයතනයට නීතිමට බලතලයක් නෑ. නමුත් යොමුවිය යුතු නීතිමය පියවර පිළිබදව අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ළමා රක්ෂණ අධිකාරිය, කාන්තා කටයුතු අමාත්‍යංශ්‍ය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදියට යොමු කරනවා. කෙහෙටද යන්න ඕන. මොනාද අරන් යන්න ඕන, මොකක්ද කරන්න ඕන කියලා අපි උපදෙස් දෙනවා. පාසල් වලට රජ්‍ය ආයතන වලට විශ්වවිද්‍යාල වලට ඔවුන්ගේ ඉල්ලීම මත සයිබර් අපාරධ පිළිබදව අපි දේශන කරනවා. ඒ වගේම සමාජ මාධ්‍ය මගිනුත් අපි දැනුවත්කිරීම් කරනවා.
මට දෙන්න තියන උපදෙස තමයි නොදන්නා දුරකථන අංක මගින් ලැබෙන කෙටි පණිවිඩ තුළ අඩංගු ලින්ක් වලට යන්න එපා, ඕ ටී පී කේත වෙනත් පුද්ගලයන්ට ලබා දෙන්න එපා, සමාජ මාධ්‍ය වල ආරක්ෂිත පද්ධති හැකි පමණින් තහවුරු කරගන්න, මුහුණු පොත වෙත නොදන්නා අනවශ්‍ය පුද්ගලයන් එකතු කරගැනීමෙන් වළකින්න ආදී වූ තමාගේ ආරක්ෂාව තහවුරු කරගන්න.
සන්නිවේදනය යනු දිනෙන් දින තාක්ෂණය සමඟ මුසු වෙමින් සීඝ්රයෙන් ඉදිරියට යන්නා වූ විෂයකි. ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය මෙකී සයිබර් අපරාධයන්හි ගොදුරක් බවට පත් වී අවසන්ය. මෙයට සමාජ විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක සාධක ද බලපෑම් කරනු ලබයි. නමුත් සයිබර් අපරාධ පිළිබඳව සමාජය දැනුවත් වී ඇත්තේ ඉතාමත් අල්ප ලෙසිනි. එහෙයින් මෙම නව මාධ්‍ය උපයෝගී කොටගෙන සිදු කරනු ලබන සයිබර් අපරාධයන්හි ක්‍රියාකාරීත්වය පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට බලපෑම් සිදු කරනු ලබන බැවින් තමගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට වග බලා ගත යුතුය.
ශෂිකා අබේරත්න