‘තලාක්’ නීතිය අහෝසි කළාට පැසැසුම්



‘තාලාක්’ (දික්කසාදය) යැයි තෙවරක් කීමෙන් පමණක්, බිරිඳ දික්කසාද කිරීමට මුස්ලිම් පුරුෂයන් විසින් සකසා ගනු ලැබ තිබෙන ‘නීතිය’ අහෝසි කරමින්, එය ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (22) කටයුතු කිරීම, ඉන්දීය කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල ප්‍රසාදය හිමි වී ඇතැයි වාර්තා වේ.

‘තලාක්’ යැයි තෙවරක් පැවැසීමෙන් පමණක්, බිරිය දික්කසාද කිරීමට මුස්ලිම් පුරුෂයන්ට විසින් සකසා ගත් මෙම ‘නීතිය’ රටවල් අතලොස්සක ක්‍රියාත්මක වෙයි. ඉන්දියාව ද ඊට අයත් විය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ, ‘තලාක්’ ක්‍රමවේදය ‘ඉස්ලාමීය නොවන’ බවය. ෂරියා නීතියෙහි හෝ කුරාණයෙහි හෝ ‘තලාක්’ දික්කසාද නීතිය ගැන සඳහන් නොවන බව ද පැවැසෙයි. ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නව සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් පැවසා ඇත.

මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ද ‘තලාක්’ දික්කසාද තහනම් කර ඇතැයි ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

‘මෙය ඓතිහාසික තීන්දුවක් බවත්, ඉන්දීය මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් වැදගත් තීන්දුවක් බවත්’ ඉන්දීය කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.

මෙම ඓතිහාසික තීන්දුවට මුල පිරුණේ, ඉන්දියාවේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එක් වී, ‘තලාක්’ ඉස්ලාමීය නීතියට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ඉන්දීය මුස්ලිම් පුරුෂයන්, ලිපි, දුරකතන ඇමැතුම් හරහා පමණක් නොව, නව තාක්ෂණය භාවිතා කරමින් ස්කයිප් වීඩියෝ පණිවුඩ ආදියෙන් ද ‘තලාක්’ යැයි තෙවරක් කියා තමන්ට එපා වන බිරිඳ දිස්කසාද කිරීමේ ප්‍රවණතාවක් මේ වනතුරු ඉන්දියාවේ පැවැතිණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS