හොංකොං ගැන කනස්සල්ලෙන්



චීනය හඳුන්වාදීමට සැරැසෙන මෙම නව ආරක්ෂක නීති මගින් පෙනී යන්නේ හොංකොං තව දුරටත් ස්වයං පාලන ප්‍රදේශයක් නොවන බව යැයි ඇමෙරිකා ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසා තිබේ.

ඇමෙරිකාව හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී වි‍රෝධතාකරුවන්ට සහාය දෙයි. මෙම නව නීති ක්‍රියාත්මක වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් චීනයට සම්බාධක පැනැවීමක් කිරීමට ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් සූදානමින් සිටින බව ද රාජ්‍ය ලේකම් පොම්පේඕ අවධාරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, චීනයේ කොටසක් වුණු හොංකොං බ්‍රිතාන්‍ය කොලනියක් විය. ඒ, 1842 දීය. 1997 දී හොංකොං යළි චීනයට පවරා දීම සිදුවුණු අතර, හොංකොං සඳහා වෙනම පාලනයක් ලබා දීමට චීනය කටයුතු කළේය.

හොංකොං පාලක මණ්ඩලය චීන හිතවාදීන්ගෙන් සමන්විතය. වත්මන් හොංකොං පාලිකා කැරී ලෑම් ද චීන හිතවාදියෙකි. හොංකොං යනු වර්ග කිලෝ මීටර් 1,104 ක භූමි ප්‍රදේශයකි. මිලියන 7.4 කට අධික පිරිසක් හොංකොං හි ජීවත් වෙති.

පසුගිය වසරේ හොංකොං පාලක මණ්ඩලය නව උදර්පණ නීතියක් හඳුන්වා දීමට උත්සහ කළේ ද චීනයේ බලපෑම මතය. චීන රජයේ උදහසට ලක් වුණු එරට විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් හොංකොං පැමිණ සිටිති. උදර්පණ නීතිය ක්‍රියාත්මක කරමින් මොවුන් වහා යළි චීනයට ගෙන්වා ගැනීමට චීන රජය උත්සාහ කළේය. කෙසේ නමුත් මාස ගණනක් තිස්සේ සියලු දෛනික කටයුතු අඩපණ කරමින් පැවැත්වුණු විරෝධතා හේතුවෙන් උදර්පණ නීතිය හකුලා ගැනීමට පාලිකා කැරී ලෑම් ට සිදුවිය.

(රොයිටර්)


RECOMMEND POSTS