සාමය උදෙසා ඇප කැප වෙනවා: මාත් සමඟ අත්වැල් බැඳගන්න එක්සත් ජාතීන්ගේ නව මහලේකම්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
එක්සත් ජාතීන්ගේ නමවැනි මහ ලේකම්වරයා ලෙස ඇන්තෝනියෝ ගුතරෙස් පසුගියදා සිය රාජකාරි ආරම්භ කළේය. ලෝක සාමය වෙනුවෙන් තමන් ඇප කැප වී කටයුතු කරන බව නව ජගත් මහ ලේකම්වරයා ලෙස දිවුරුම් දෙමින් ඇන්තෝනියෝ ගුතරෙස් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී විශේෂ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළේය.
“එක් මානව පවුලක් ලෙස අභිමානය සහ බලාපොරොත්තු, ප්‍රගතිය හා සෞභාග්‍ය උදා කරගැනීමට උත්සහ කරනවා. සාමය රැඳී පවතින්නේ අප මතයි. සාමය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන්න මා සූදානම්. ඒ සඳහා මාත් සමඟ එක්වෙන්න. අදත් සෑම දිනකදීමත් අප එකමුතුව කටයුතු කරමු. 2017 සාමය උදෙසා වසර කරමු” යැයි ගුතරෙස් පැවැසීය.
එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයාගේ පත්වීම හා ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ඌනා මැකෝලි මෙසේ කීවාය.
“සාමය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සමීප සම්බන්ධයක් තිබෙන මාතෘකාවක්. ශ්‍රී ලංකා දිගු කාලීන හා තිරසර සාමයක් ළඟා කරගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා ජනතාවගේ සාමය හා සංහිඳියාව සඳහා වූ ගමනට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් උපකාර කරනවා” යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.
එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස ඇන්තෝනියෝ ගුතරෙස්ගේ පත්වීමට සුබපතමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවැසීය.
“සාමයට මුල් තැනක් දීමට එක්සත් ජාතීන්ගේ නව මහලේකම්වරයා කටයුතු කිරීම සතුටට කරුණක්. එය නව වසරේ නව බලාපොරොත්තුවක්. නව අරමුණක්. සමස්ත ලෝකයත් ශ්‍රී ලංකාවත් සාමය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ආණ්ඩුව රටට තිරසර සාමය හා සංහිඳියාව අත්පත් කරගැනීම සඳහා නිරන්තරයෙන් ඇප කැප වී කටයුතු කරනවා” යැයි ඔහු වැඩිදුරටත් කීවේය.