විපතට පත්වූවන්ට ට්‍රම්ප්ගෙන් මිලියනයක්
ටෙක්සාස් ජනපදය හරහා ඇමෙරිකාවට කඩා වැදුණු ‘හාර්වි’ සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් තමන් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මෙම ඩොලර් මිලියනය ලබා දෙන්නේ ඔහුගේ පෞද්ගලික මුදල්වලින් යැයි ධවල මන්දිරය ප්‍රකාශිකා සේරා සැන්ඩර්ස් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.
‘ජනපති ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබෙනවා ඇමෙරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන්න. ඒ, ඔහුගේ ට්‍රම්ප් පදනමින්. ටක්සාස් සහ ලුවිසියානා ජනපදවල ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සිදුවන සහන සේවා සඳහා ජනපති ට්‍රම්ප්ගේ එම මිලියනයක මුදල යොදවනවා’ යැයි සේරා සැන්ඩර්ස් එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා සිටියාය.
මාධ්‍ය ප්‍රකාශක සැන්ඩර්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ, පරිත්‍යාග කරන එම මුදල කෙසේ බෙදී යා යුතුදැයි තීරණය කිරීමට ඇමෙරිකන් මාධ්‍ය ආයතනවලට ඉඩ ලබා දීමට ද ට්‍රම්ප් තීරණය කර ඇති බවය.
2016 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් ඉදිරිපත්වී සිටිද්දී, ඔහුට චෝදනා එල්ල විය. ඒ, පුණ්‍යකටයුතු වෙනුවෙන් මුදල් දෙනවා යැයි බොරු පොරොන්දු දුන් බවටය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය දා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණු ටෙක්සාස් ජනදයේ සංචාරය කළේය. ඒ, බිරිඳ මෙලානියා ද සමඟය. විපතට පත්වූවන් ගැන සොයා බලා, සහන සේවා සිදුවන අයුරු අධීක්ෂණය කිරීමට ට්‍රම්ප් අමතක නොකළේය.
විපතට පත් වූවන් ගැන සොයා බැලීමට ගිය මෙලානියා ට්‍රම්ප් පැමිණියේ අඩි උස සපත්තු දමාගෙනය. එය ඇමෙරිකන් මාධ්‍ය ආයතවල විවේචනයට ද හේතුවක් විය. අද (2) දින ට්‍රම්ප් හූස්ටන් හි ජල ගැලීම්වලින් විපතට පත් වූවන් ගැන සොයා බැලීමට නියමිත යැයි ද වාර්තා වේ.
ඇමෙරිකාවට කඩා වැදුණු ‘හාර්වි’ සුළි කුණාටුව නිසා සිදුවුණු අලාභය ඇමෙරිකන් ඩොලර් බිලියන 42 ඉක්මවන බව ඇමෙරිකන් රජය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සුළි කුණාටුවෙන් එල්ල වුණු බලපෑම තවමත් අවසන් වී නැත. ලුවිසියානා ජනපදයේ පළාත් රැසක් තවමත් ජලයෙන් යටවී ඇතැයි ද පැවැසෙයි. ජල ගැලීම්වලට කොටුවුණු පුද්ගලයන් බේරා ගැනීම දිගටම සිදුවෙයි.
(රොයිටර්)