ලැප්ටොප් පාවිච්චි නොකරන ඇමෙැතිවරුන් දොට්ට



නේපාල ඇමැති මණ්ඩලයේ සැමට ලැප්ටොප් පරිගණක ලබා දී ඇති බවත්, එම ලැප්ටොප් පරිගණක භාවිතයට නොගන්නා ඇමැතිවරුන් සිටී නම්, ඒ ගැන විමසිලිමත් වී, ඔවුන් ඇමැති ධුරවලින් නෙරපා දමන බවත්, නේපාල අගමැති කේ.පී. ෂර්මා ඕලි කියයි.

නේපාල ඇමැතිවරුන්ට ලැප්ටොප් පරිගණක ලබා දී ඇත්තේ ඔවුන්ගේ රාජකාරි කටයුතු වඩාත් කාර්්‍යක්ෂම කිරීමේ අරමුණින් සහ කඩදාසි භාවිතයට තිත තැබීම වෙනුවෙන් බවත්, එය කළ නොහැකි ඇමැතිවරයකු සිටී නම් ඔවුන්ට ඔවුන්ගේ ධුර අහිමි වනු ඇති බවත් නේපාල අගමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

පරිගණක දැනුම නොමැති ඇමැතිවරුන් සිටී නම්, පරිගණ දැනුම ලබා ගැනීමට මාස 6 ක කාලයක් ලබා දෙන බව ද අගමැති කේ.පී. ෂර්මා ඕලි වැඩි දුරටත් කියා සිටී.

කේ.පී. ෂර්මා ඕලි නේපාලයේ අගමැති ලෙස සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාසයේ සිටය. එදා ඔහු කියා සිටියේ මාස හයක් ඇතුළත අගමැති කාර්යාලය කඩදාසි භාවිතයෙන් තොර තැනක් බවට පත් කරන බවය. ඒ අනුව, අගමැති කාර්යාලයේ සියලු කටයුතු මේ වනවිට පරිගණක සහ අන්තර් ජාල ඇසුරෙන් සිදුවන බව ද පැවැසෙයි.

දෙවැනි වර අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේදී, අගමැති කේ.පී. ෂර්මා ඕලි පෙන්වා දුන්නේ නේපාලය නව තාක්ෂණයට වඩවඩාත් යොමු විය යුතුයි කියාය. ඇමැති මණ්ඩලයේ සැමට ලැප්ටොප් ලබා දීම සිදුවූයේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS