යුද්ධ කරලා හරියන්නේ නෑ
ඉන්දු පාකිස්තාන අර්බුදය යුද්ධ කරමින් විසඳිය නොහැකි බවත්, අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත් ෂා මොහොමද් කුරේෂි අවධාරණය කරයි.
එය තමාගේ පමණක් නොව, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ද අදහස යැයි ද විදේශ ඇමැති කුරේෂි පැහැදිලි කරයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදයක් පවතින්නේ දෙරටටම පොදු කාශ්මීරය මුල්කොට ගනිමිනි.
ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ධුරයට පත් වී සිටින්නේ, පාකිස්තානය අසල්වැසි ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකාව සමඟ ද ඇයිහොඳයිකම් පළුදු වී ඇති අවස්ථාවකය.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්වා ස්වරාජ් හමුවී සාම කතා යළි ආරම්භ කිරීමට පාකිස්තාන විදේශ ඇමැතිවරයා සූදානමින් සිටියේය.
කෙසේ නමුත් ඉන්දු පාකිස්තාන කාශ්මීරයේ කාශ්මීර බෙදුම්වාදීන්ගේ ප්රහාරයකින් ඉන්දීය දේශසීමා මුරභටයකු මියයෑමේ සිදුවීමක් මුල්කොට ගනිමින් තමන් සාම සාකච්ඡා සඳහා කැමැත්තක් දක්වන්නේ නැති බව ඉන්දියාව දැනුම් දුන්නේය. ඒ අනුව, සාම සාකච්ඡා පැවැත්වීමක් සිදුනොවෙයි.
(අල් ජසීරා)