මෝදිගෙන් විශේෂ සැළකිලි
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටින ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
මැක්රොන්, බිරිය සහ ප්‍රංශ ඇමැතිවරුන්, ආරක්ෂක ප්‍රධානීන් සහ ව්‍යාපාරිකයන් ද පිරිවරාගෙන නවදිල්ලියට පැමිණියේ පසුගිය සිකුරාදා දිනයේය.
මීට සති කිහිපයකට පෙර කැනඩා අගමැති ජන්ටින් ටෘඩෝ ඉන්දියාවේ සත් දින නිල සංචාරයකට පැමිණියේය. ඒ, බිරිය සහ දරු තිදෙනා ද සමඟය. මැක්රොන්ට ලැබුණු ආකාරයේ උණුසුම් පිළිගැනීමක් කැනඩා අගමැතිවරයාට, අගමැති මෝදිගෙන් හිමි නොවිණි. මෝදි කැනඩා අගමැතිවරයා හමුවූයේ ඔහුගේ සංචාරයේ සත්වැනි දිනයේය.
ප්‍රංශ ජනපති ප්රමුඛ පිරිස රැගත් විශේෂ ගුවන් යානය ගොඩබෑවේ නවදිල්ලියේ හමුදා ගුවන් කඳවුරටය. පිරිස පිළිගැනීමට මෝදි ද පැමිණ සිටියේය. අගමැති මෝදි ප්‍රංශ ජනාධිපතිවරයා පිළිගත්තේ වැළඳගෙන සුබපතමිනි.
10 වැනිදා උදෑසන ජනපති මැක්රොන්, නවද්ලියේ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයට ගියේය. එම අවස්ථාවට ඉන්දියාවේ ප්‍රංශ තානාපති නිලධාරීහු ද එක්වූහ. මැක්රොන් සහ ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්විණි.
ප්‍රංශ ජනාධිපතිවරයා, බිරිය සහ නියෝජිත පිරිස පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඉන්පසු පැවැත්විණි. එම අවස්ථාවට අගමැති මෝදි පමණක් නොව, ඉන්දීය ජනාධිපති රාම් නාත් කොනවින්ද් සහ ඔහුගේ බිරිය සාවිතා ද එක් වූහ. ප්‍රංශ ජනපති සහ පිරිස වෙනුවෙන් හමුදා උත්තමාදාර ද පැවැත්විණි.
නවදිල්ලියේ හයිද්‍රාබාද් නිවසේ දී ඉන්දීය අගමැති මෝදි සහ ප්‍රංශ ජනාධිපති අතර ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්වූයේත්, දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සිදුවූයේත් ඉන්පසුවය.
‘සූර්ය බලශක්ති ආරක්ෂක සමුළුව’ නවදිල්ලි අගනුවර පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙනි. මෙය විකල්ප බලශක්ති සමුළුවකි. හොඳින් හිරු එළිය ලැබෙන, හිරු එළිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගත හැකි රටවල් රැසක රාජ්‍ය නායකයෝ මෙම සමුළුවට සහභාගී වෙති. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද ඒ අතර සිටී.
(ඒ.එෆ්.පී.)