බෙල්ජියමේ න්‍යෂ්ටික බලාගාර ඉරිතලලා



බෙල්ජියමේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර යල් පැනගොස් ඉරිතලා ඇති බැවින්, හදිසියේ විකිරණ කාන්දුවක් සිදුවුවහොත් එයින් ආරක්ෂා වීමට, අයඩයින් පෙති නොමිලේ රටවැසියන්ට බෙදාදීමට බෙල්ජියම රජය කටයුතු කර තිබේ.

විදෙස් පුවත් සේවා වාර්තා කළේ බෙල්ජියම් රජය පෙති 10 බැගින් අඩංගු පෙට්ටි මිලියන 4.5 ක් බෙදා දීමට කටයුතු කළ බවය.

විකිරණ කාන්දුවකදී, තයිරොයිඞ් ග්‍රන්ථිවල විකිරණ එක්රැස්වීමක් සිදුවෙයි. අයඩයින් පෙති භාවිතා කළ යුත්තේ එය වළක්වා ගැනීමට යැයි බෙල්ජියම් රජය ජනතාවට පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, න්‍යෂ්ටික බලශක්ති බලාගාරවලින් කිසිදු ආකාරයන විකිරණ කාන්දුවක් සිදුනොවන බවත් බෙල්ජියම් බලධාරීන් සහතික වී ඇතැයි ද වාර්තා වේ.

රටේ න්‍යෂ්ටික බලාගාර දුර්වල තත්ත්වයක පවතින බවටත් ඉදිරියේදී අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවටත් බෙල්ජියම් බලධාරීන් එරට වැසියන්ට අනතුරු ඇඟවීම් කළේ මීට වසර දෙකකට පෙරය. ඒ අනුව, න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් සහ විකිරණ සම්බන්ධයෙන් බෙල්ජියම් වැසියන් දැනුවත් කිරීම සිදුවිය.

බෙල්ජියමේ න්‍යෂ්ටික බලාගාර පිහිටා ඇත්තේ අසල්වැසි රටවල්වන නෙදර්ලන්තය, ලුක්සෙම්බර්ග් සහ ජර්මන් දේශසීමාවට නුදුරිනි. එහෙයින් මෙම රටවල බලධාරීන් ද බෙල්ජියමේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS