නොබෙල් සාම ත්‍යාගය



කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව අද (5) නිවේදනය කළේය. 

කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඉරාකයේ ලිංගික වහල් වෙළෙඳාමට සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටීම යන කරුණු මුල් කරගනිමින් ඩෙනිස් මුක්වේගේ සහ නාඩියා මුරාද් එලෙස නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිතය. 

ඩෙනිස් මුක්වේගේ කොංගෝ ජනරජයේ නාරිවේදය පිළිබඳ විශේෂ වෛද්‍යවරයෙකි. නාඩියා මුරාද් ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස් සංවිධානයේ ලිංගික වහල් සේවයට ගොදුරුව ඉන් දිවි ගලවාගත් තැනැත්තියකි. ඇය ඉරාකයේ යසීදි ප්‍රජාව නියෝජනය කරන්නියකි. 

“ලිංගික ප්‍රචණ්ඩත්වය යුද්ධයේ අවියක් කරගැනීම වැළැක්වීම වෙනුවෙන් සටන් වැදීම” යන පාඨය යටතේ ඔවුන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව සඳහන් කළේය. 

මුක්වේගේ කොංගෝ ජනරජයේ නැගෙනහිර පිහිටි නගරයක් වන බුකාවු පන්සි රෝහලේ සේවයේ යෙදෙමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි. ඔහු 1999 වසරේදී සායනයක් ආරම්භ කර ඇති අතර සෑම වසරකදීම මුක්වේගේ සායනයට කාන්තාවන් දහස් ගණනින් පැමිණ ඇත. ඔවුන්ගේ බොහෝ දෙනා ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවෝ වන අතර ඔවුන්ගෙන් ද බොහෝ දෙනා ශල්‍යකර්මවලට භාජනය කළ යුතව තිබී ඇත. 

මුරාද් ඉරාකයේ යසිදි සුළුතර ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටින්නියකි. ඇය සරණාගත සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කැප කළ අතර 2014 වසරේදී අයි.එස් ත්‍රස්තයන්ගේ ගොදුරක් බවට පත්විය. අයි.එස් ත්‍රස්තයන් මොසුල් නුවරදී ඇය අතවරයට ලක් කළ බව ද පැවසේ. 

සෑම නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරේ. සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා එම ත්‍යාග මුදල පදක්කම පිරිනමයි. නොබෙල් ත්‍යාග ලබාදීම ආරම්භ කළ ඇල්ෆ්‍රඞ් නොබෙල්ගේ අභාවප්‍රාප්ත වූයේ 1896 දෙසැම්බර් 10 වැනිදාය. එම දිනය සිහිකරනු වස් සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී නොබෙල් ත්‍යාගලාභීන් කවුරුන් ද යන වග නිවේදනය කරන අතර පදක්කම් සහ ත්‍යාග මුදල් පිරිනැමෙන්නේ දෙසැම්බර් 10 වැනිදාය. නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම ආරම්භ කරන්නේ 1895 වසරේදීය. 

සෑම නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන්ම ඒ සඳහා විශේෂිත නොබෙල් කමිටුවක් තිබෙන අතර නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ නෝර්වේජියානු නොබෙල් කමිටුවයි. 

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග පිරිනමන්නේ විද්‍යාව සඳහා වූ රාජකීය ස්වීඩන ඇකඩමියයි. ස්වීඩනයේ ස්ටොක්හෝම් හි පිහිටි කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් මන්ත්‍රණ සභාව වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනමයි. සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනමන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හි ‘ස්වීඩන ඇකඩමියයි’. 

නොබෙල් සාම ත්‍යාගලාභීන් දෙදෙනාම ලිංගික ප්‍රචණ්ඩත්වය අවියක් කරගැනීම, ඒ ආකාරයේ අපරාධ වැළැක්වීම සහ එවැනි යුද අපරාධ වැළැක්වීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දී ඇතැයි නොබෙල් කමිටුව නිකුත් කළ හේතුපාඨයේ සඳහන් වේ. 

හර්ෂණ තුෂාර සිල්වා

ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS