ගුජරාට් ප්‍රාන්තයේ නව මහ ඇමැති



ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ නව මහ ඇමැතිවරයා ලෙස 61 හැවිරිදි විජේ රූපානි දිවුරුම් දුන්නේය.

එම දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ඉන්දීය කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන්, භාරතීය ජනතා පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. දේශපාලන විචාරකයෝ මෙම උත්සවය භාරතීය ජනතා පක්ෂය තම බලය පෙන්වීමට ගන්නා ලද උත්සහයක් ලෙස පෙන්වා දුන්හ.

මෙම උත්සවයට භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානී අමිත් ෂා, ඉන්දීයාවේ ප්‍රාන්තවල මහ අමාත්‍යධුර දරන භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් 18 දෙනා සහ භාරතීය ජනතා පක්ෂයේ මිත්‍ර පාර්ශවයක් ලෙස කටයුතු කරන බිහාර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් සහ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කරන සුෂිල් කුමාර් මෝදි ද මෙම උත්සවයට සහභාගී වූහ. 

විජේ රූපානි ගුජරාට් ප්‍රාන්තයේ මහ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර නිතින් පටෙල් ඔහුගේ දෙවැනියා ලෙස දිවුරම් දුන්නේය. ඊට අමතරව ප්‍රාන්තයේ අමාත්‍යවරුන් 19 දෙනාද එම උත්සවයේදී දිවුරුම් දුන්හ.

කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂයට පසුගිය මැතිවරණයේදී දිනාගත් ආසන සංඛ්‍යාව දිනාගැනීමට නොහැකිවිය. අවසන් වරට පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ගුජරාට් ප්‍රාන්තයේ ආසන 182න් ආසන 115ක බලය හිමි කරගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුවද ඔවුන්ට මෙවර දිනාගැනීමට හැකිවූයේ ආසන 99ක් පමණි.

පසුගිය වර ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ 11 දෙනකු මෙවර නැවත පත්වී තිබෙන අතර අලුතෙන් පත්වී ඇති ගණන 9කි. එමෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු ආසන 26ම දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව තිබේ.
වසර 22ක කාලයක් මුළුල්ලේ ගුජරාට් ප්‍රාන්තයේ බලය හොබවන්නේ භාරතීය ජනතා පක්ෂයයි. ගුජරාට් ප්‍රාන්තය භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවකි. එපමණක් නොව  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන්නේ ද ගුජරාට් ප්‍රාන්තයයි.

ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ගුජරාට් ප්‍රාන්තයේ ඡන්ද පදනම තව තවත් වැඩි කරගැනීම භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

විජේ රූපානිගේ කැබිනට් මණ්ඩලයට පත්වූවන් අතර පසුපෙළ කුල ලෙස හැඳින්වෙන කුල නියෝජනය කරන හය දෙනකු සහ බලපෑම් සහගත කුල ලෙස හැඳින්වෙන පටෙල් සහ පටිදාර් යන කුලවලින් හය දෙනකු පත්ව තිබේ.

විජේ රූපානි භාරතීය ජනතා පක්ෂයේ නායක අමිත් ෂා සමඟ සබඳකම් පවත්වන පුද්ගලයකු ලෙස හැඳින්වෙන අතර ඔහු පිරිසුදු චරිතයක් බව ද ඉන්දීය මාධය වාර්තා කර තිබිණි.

(ද හින්දු/එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS