කොරියා ජනපති චීන ජනපති හමුවෙයි



චීන ජනාධිපති ෂී ජින්පින් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතරේ හමුවක් චීනයේ බීජිං අගනුවරදී පැවැත්විණි.

ඇමෙරිකාව දකුණු කොරියාවට සහාය දක්වමින්, එරටට මිසයිල පද්ධති ලබා දීම සම්බන්ධයෙන් නිර්මාණය වුණු අර්බුදයේ දී, චීනය සහ දකුණු කොරියාව අතර හිතවත්කම් පළුදු විය.

චීනය චෝදනා කර තිබුණේ එම මිසයිල පද්ධතිය තම රටේ ආරක්ෂාවට තර්ජනයක් කියාය. ඇමෙරිකාව දකුණු කොරියාවට එම මිසයිල පද්ධතිය ලබා දුන්නේ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.

පළුදු වුණු එම සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට චීන ජනපති ජින්පින් සහ දකුණු කොරියානු ජනපති මූන් සමත් වුණැයි ද පැවැසෙයි.

උතුරු කොරියාව සම්බන්ධයෙන් ජනපතිවරුන් දෙදෙනා අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. කිසිම අවස්ථාවක කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් ඇති වීමට ඉඩ ලබා නොදෙන බවට චීනය පොරොන්දුවක් දුන්නේය.

දකුණු කොරියානු ජනාධිපති මූන් හමුවීමට ලැබීම ගෞරවයක් බවත්, ඔහු නිහතමානී අයකු බවත් හමුවෙන් පසු චීන ජනපති ජින්පින් මාධ්‍ය ඉදිරියේ පැවැසීය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS