කළු ජාතිකයා මරණය මංචකයේ



සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක් වී, බරපතල තුවාල ලැබූ ජේකොබ් බ්ලේක් නමැති කළු ජාතික තරුණයා මරණය සමඟ සටන් කරමින් සිටින බව ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (26) වාර්තා කළේය.

පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇත්තෙ නිරායුධ බ්ලේක්ගේ පිටටය. පිටේ තිබී උණ්ඩ 6 ක් ඉවත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ. වෙඩි ප්‍රහාරයට ලක් වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බ්ලේක්ගේ සිරුර මුළුමනින්ම අකර්මණ්‍ය වී ඇති බ්ලේක්ගේ පිටේ උණ්ඩ 7 ක් තිබුණු බව රෝහල් ආරංචි උපුටා දකිවමින්, බ්ලේක්ගේ නීතීඥ බෙන් ක්‍රම්ප් පවසා තිබේ.

29 හැවිරිදි ජේකොබ් බ්ලේක් සය දරු පියෙකි. බ්ලේක් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පසුගිය ඉරිදා (23) ය. ජේකොබ් බ්ලේක් නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙනවා යැයි පොලිසියට පැමිණිල්ලක් ලැබුණි. ඒ, ගැන විමසීමට සුදු පොලිස් නිලධාරීන් දෙදෙනකු බ්ලේක්ගේ නිවස වෙත යැවිණි. සිය පුතුන් තිදෙනා සමඟ නිවසින් පිටව යන බ්ලේක්ගේ මෝටර් රථය වට කර නැවැත්වීමට පොලිසිය ඒ අනුව කටයුතු කළේය.

දරු තිදෙනා මෝටර් රථයේ සිටිද්දී, බ්ලේක් ඉන් පිටතට ආ අතර, පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කරද්දී බහින්බස්වීමක් සිදුවිය. බ්ලේක් පොලිස් අණ නොතකා සිට මෝටර් රථයට ගොඩවීමට ගිය අවස්ථාවේදී, ඔහුට තුවක්කු මානමින් සුදු පොලිස් ඔහු පසුපස යයි. බ්ලේක්ගේ පිටුපසින් සිටි පොලිස් නිලධාරීන්, බ්ලේක්ට වෙඩි තැබුවේ එවිටය.

සිදුවුණු සියල්ල මාර්ගය අසල සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කළ අතර, පසුව ඇමෙරිකාව කලඹින් මාධ්‍ය හරහා විකාශය වූයේ එම දසුන් පෙළය.

විස්කොන්සින් ප්‍රාන්තයේ කොනෝෂා නුවර ඇරැඹුණු ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා සහ බ්‍රචණ්ඩ ක්‍රියා මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර, නිව්යෝක් ජනපදයේ නිව්යෝක් නුවර දක්වාත් වොෂින්ටන් අගනුවර දක්වාත් පැතිර ගොස් ඇත්තේ ළැව් ගින්නක් ලෙසය. කොනෝෂා නුවර විරෝධතා ප්‍රචණ්ඩ වෙද්දී, ඊට සම්බන්ධ වූ කළු ජාතිකයන් පමණක් නොව සුදු ජාතිකයන් ද දේපොල විනාශ කරමින් ගිනි තබන්න පටන් ගත්තේය. ඒ අනුව, නගරයේ ආරක්ෂාවට හමුදාව කැඳවීමට විස්කොන්සින් ආණ්ඩුකාර ටෝනි එවර්ස් පියවර ගත්තේය.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගෙන් කළු ජාතිකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා පළමුවෙන් ආරම්භ වූයේ පසුගිය ජූලි 13 වැනිදාය. ඒ, ජෝජ් ෆ්ලොයිඞ් නමැති ඇමෙරිකානුවා පොලිස් අත්අඩංගුවේ සිටිද්දී මියයෑමත් සමඟය. ඇමෙරිකාව පුරා පමණක් නොව, බටහිර රටවල් රැසක ද විරෝධතා ඇවිලෙන්න විය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේ විරෝධතා නිර්දය ලෙස මර්දනය කිරීමටය. මේ හේතුව නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකානුවන් බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදය හිමිවී ඇත.

කෙනෝෂා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS