කරුණානිධි සමුගනී
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයකු වූ ද්‍රවිඩ මුනේත්ර කලහම් පක්ෂයේ නායක එම්. කරුණානිධි මහතා ඊයේ (7) පස්වරුවේ චෙන්නායි නුවරදී අභාවප්‍රාප්ත විය.
අනූ හතර වැනි වියේ පසු වූ එම්. කරුණානිධි මහතා අසනීප තත්ත්වයක් නිසා චෙන්නායි නුවර කාවේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
එම්. කරුණානිධි මහතා පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හෙබ වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු මෙන්ම තිස් වසරක් මුළුල්ලේ පැවැති සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළේය.
චෙන්නායි නුවර මරීනා වෙරළ තීරයේ දී හිටපු මහ ඇමැතිවරයාගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊයේ (7) පස්වරුවේ ද්‍රවිඩ මුනේත්ර කලහම් පක්ෂයේ වැඩබලන සභාපති එම්.කේ ස්ටාලින් මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති ඊඩප්පඩි කේ. පලනිස්වාමි මහතා හමු වී සාකච්ඡා කර ඇතැයි ද වාර්තා විය.
එම්. කරුණානිධි මහතා රෝහල් ගත කළ බව දැනගත් විගස ද්‍රවිඩ මුනේත්ර කලහම් පක්ෂයේ ආධාරකරුවන් රැසක් රෝහල ආසන්නයට එක් රැස් වූ අතර රෝහලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද ප්‍රාන්ත බලධාරීන්ට සිදු විය.
රුධිර පීඩනයේ පහත වැටීමක් හේතුවෙන් ජූලි 28 වැනිදා එම්.කරුණානිධි මහතා රෝහල් ගත කර තිබිණ.
හර්ෂණ තුෂාර සිල්වා
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි