එලන් මස්ක්ට චෝදනා



අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව මුලා කිරීම සම්බන්ධයෙන් සුප‍්‍රසිද්ධ කෝටිපති අමෙරිකානු ව්‍යාපාරික එලන් මස්ක්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් බොහෝවිට නුදුරේදිම ඔහුට සිය සමාගමේ ධුරවලින් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවද විචාරකයන් පෙන්වා දෙයි.

සුප්‍රකට ටෙස්ලා තාක්ෂණික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ක්ට එරෙහිව දූෂණ චෝදනා ගොනු කිරීමට එක්සත් ජනපද විනිමය සහ සුරැකුම්පත් කොමිසම කටයුතු කර තිබේ.අවස්ථා කිහිපයකදී මහජනතාව මුලාකිරීම සහ ඒ මගින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරීම ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනාවයි.

මේ කරුණු මත පදනම් වෙමින් ඉදිරියේදී එලන් මස්ක්ට අමෙරිකානු පොදු සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දැරීමට ඇති අවකාශ අවහිර කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්  විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ බලධාරීන් පැවැසුවා.

ටෙස්ලා සමාගමේ කොටසක් අමෙරිකානු ඩොලර් 420ක් දක්වා වන ඉහළ අගයක් සටහන් කිරීමට තමන්ට ප්‍රතිපාදන ඇති බව ට්විටර් සටහනක් තබමින් එලන් මස්ක් පැවසීය.

මෙම කරුණ වාර්තා වීමත් සමග එහි කොටස් හිමියන් බොහොමයක් පවසා ඇත්තේ එවන් කරුණක් සම්බන්ධ කතා බහක් මෙතෙක් ඇති වී නොමැති බවයි.තමන් කළ දීර්ඝ කරුණු සොයාබැලීමකින් පසුව මස්ක්ගේ මෙම සටහන අසත්‍යක් බව තමන් හඳුනාගෙන ඇතැයි විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ බලධාරීන්ද සදහන් කළේය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සමඟින් ටෙස්ලා සමාගමේ කොටස් මිල සියයට 5.7කින් පහළගොස් ඇති අතර මෙවන් චෝදනාවකට ලක්වූ ඉහළතම ව්‍යාපාරිකයා මස්ක් බවද අමෙරිකානු වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා)

සී.එන්.එන් ඇසුරෙනි.


RECOMMEND POSTS