ආපසු ගෙන්වා ගන්නවා



යුද ගැටුම්වලින් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් බේරී, බංග්ලාදේශයට පලා ගොස් සරණාගත කඳවුරුවල ජීවත් වන රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් යළි මියන්මාරයට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව, මියන්මාර ආරක්ෂක උපදේශක තාඋන්ග් තාන් පවසා ඇත.

බංග්ලාදේශ දේශසීමාවට පලා ගොස්, දේශසීමාවේ සරණාගත කඳවුරුවල ජීවත් වන රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ගණන ලක්ෂ 7 කට වැඩිය.

මොවුන් බංග්ලාදේශයට ඇතුළුවීමට උත්සහ කරන නමුත් බංග්ලාදේශ රජය ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ. එහෙයින්, එම මුස්ලිම් වැසියෝ අපා දුක් විඳිමින් සරණාගත කඳවුරුවල ජීවත් වෙති.

රොහින්ග්‍යා වැසියන් කැමැති නම්, ඔවුන් යළි ගෙන්වා ගැනීමටත් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් පියවර ගන්නා බව මියන්මාර ආරක්ෂක උපදේශක තාඋන්ග් තාන් කියා සිටියේ සිංගප්පූරුවේ පැවැත්වෙන කලාපීය ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමිනි.

රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් පදිංචිවී සිටින්නේ මියන්මාරයේ රකීන් පළාතේය. මියන්මාරය බෞද්ධ රාජ්‍යයකි. රොහින්ග්‍යා ප්‍රජාව එහි සුළු ජනකොටසකි. රකීන් පළාත, වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමට රොහින්ග්‍යා වැසියෝ උත්සාහ ගනිති. ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහාය මෙම මුස්ලිම් වැසියන්ට හිමිවෙයි.

මියන්මාර රජයේ හමුදා එම මුස්ලිම් අන්තවාදී සමඟ සටන් වදී. ඒ සමඟ හටගත් ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පටන් රොහින්ග්‍යා වැසියෝ දිවි පරදුරට තබා බෝට්ටුවල නැගී බංග්ලාදේශයට යෑමට උත්සාහ ගත්හ. බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල වාසය කරන්නෝ එසේ පැමිණි සරණාගතයෝය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS