හමුදා ලොක්කෝ මුගාබේ හමුවෙලා
හමුදා කමන්ත්‍රණයකින් පසු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කර සිටින සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සහ එරට හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡා ආරම්භ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
තිස් හත් වසරක් තිස්සේ බලයේ රැඳී සිටි, 93 හැවිරිදි මුගාබේගේ අනාගතය සම්බන්ධයෙන් පමණක් නොව, රටේ අනාගතය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත් වුණු බව වාර්තා වේ.
හමුව පැවැත් වූයේ හරාරේ අගනුවර ජනපති මැදුරේදීය. සිම්බාබ්වේ හමුදාපති සහ තවත් නියෝජිතයෝ දෙදෙනෙක් මුගාබේ හමුවීමට පැමිණ සිටියාහ.
මේ අතර සිම්බාබ්වේ විපක්ෂ නායක ස්වංගිරායි පවසා ඇත්තේ මුගාබේ වහා ජනපති ධුරයෙන් සමු ගැනීම කළ යුතු බවය. මුගාබේ එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද වාර්තා වේ.
හමුදාව ජනපති මුගාබේ නිවාස අඩස්සියට පත් කරමින්, එරට රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය අත්පත් කර ගත්තේය. ඒ, හරාරේ අගනුවර ඔවුන්ගේ ග්‍රහණයට ගනිමිනි. එය සාමකාමී අයුරින් සිදුවූ අතර ලේ වැගිරීම් කිසිවක් වාර්තා නොවිණි. කෙසේ නමුත් තමන් කුමන්ත්‍රණයක් කර බලය අල්ලා ගත්තේ යැයි හමුදාව කිසිදු අවස්ථාවක පවසා නැත.
‘හමුදාව මේක හමුදා කුමන්ත්‍රණයක් විදියට හඳුන්වා දෙන්නේ නැහැ. හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණා කීවොත්, ඒක රටට අහිතකරයි. ඒ නිසා ඔවුන් ඒ වදන භාවිතා කරන්නේ නැහැ. සිදුවී ඇති දේවල් සළකා බැලීමේදී මුගාබේ නිවාස අඩස්සියට ගෙන තිබෙනවා. ජනපති සතු සියලු බලතල දැන් ඇත්තේ හමුදාව යටතේ.’ යැයි සිම්බාබ්බේ විපක්ෂ නායක මෙන්ම එරට අගමැතිවරයකු ලෙස ද කටයුතු කළ මෝගන් ස්වන්ගිරායිගේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන ඇලෙක්ස් මෙගාසියා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දී තිබේ.
සිම්බාබ්වේ පාලනය අතට ගැනීමට හමුදාව ඉදිරිපත් වූයේ රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණු නිසාය. එම අර්බුය නිර්මාණය වූයේ රොබට් මුගාබේගේ අනුප්‍රාප්තිකයා කවුරුන්දැයි යන්න මුල්කොට ගනිමිනි.
මුගාබේ ඔහුගේ බිරිය ග්‍රේස්ට බලය පවරා දෙමින්, අගමැති ධුරයට පත් කර, පසුව උප ජනපති ධුරයට පත් කිරීමට සූදානමින් සිටියේය. තම අනුප්‍රාප්තිකාව තම බිරිය ග්‍රේස් බව ඔහු ජනතාවට දැනුම් දී තිබුණි. උප ජනපති ධුරයේ දීර්ඝ කාලයක් කටයුතු කළ මුගාබේ සමීපතමයකු වුණු එමර්සන් මුනගැග්වා ද මුගාබේගෙන් පසු බලයට පත් වීමේ අපේක්ෂාවෙන් පසුවිය.
මුනගැග්වා සහ මුගාබේ අතරේ අර්බුය මෙසේ නිර්මාණය වෙද්දී, ඔවුන්ගේ පක්ෂය වන පාලක පක්ෂයේ ද බෙදීමක් හටගත්තේය. සිම්බාබ්වේ හමුදා ප්‍රධානීන් මුනගැග්වාට පක්ෂපාතී යැයි ද පැවැසෙයි.
මෙම හමුදා කුමන්ත්‍රණය මෙහෙයවීම සිදු කරනු ලැබුවේ මුනගැග්වා නම් එතැන ගැටලුවක් පවතින බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. හමුදාව අවංක චේතනාවෙන්, රටට යහපත් කිරීමේ අරමුණින් පාලන බලය අතට ගත්තේ නම් එය සැබැවින්ම රටට යහපතක් වේවි යැයි ඔවුහු වැඩි දුරටත් කියා සිටිති. මුගාබේ පාලනය යටතේ හෙම්බත් වුණු සිම්බාවේ වැසියන්ට ‘වෙනසක්’ අවශ්‍ය වී තිබුණු බවත්, එම ‘වෙනසට’ දැන් අවස්ථාවක් උදා වී බවත් සිම්බාබ්වේ විපක්ෂ නායක ස්වංගිරායි පවසා ඇත.
මුනගැග්වාට ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන දී, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ හිඳිමින් කටයුතු කරන දේශපාලනඥයෙකු නොවන බව ජාත්‍යන්තරයේ පිළිගැනීමය. හමුදාව ඔහුට බලය අත්පත් කර දුන්නොත්, එය ‘කෙටි කාලයකට’ පමණක් යැයි විදෙස් නායකයන්ගේ අදහස වී තිබේ.
ජනතාවගේත් හමුදා ප්‍රධානීන්ගේත් අප්‍රසාදයට පත්වීමට පෙර රොබට් මුගාබේ සැබෑම ජනතා වීරයෙක් වී සිටියේය. මුගාබේ උපන්නේ 1924 වසරේදීය. ඔහු ගුරුවරයෙකු විය. මුගාබේ ‘ජනතාවගේ වීරයා’ වූයේ 1970 දශකයේ බි්‍රතාන්‍ය සුදු ජාතික පාලනයට එරෙහිව අවි අතට ගත් ගරිල්ලා යුද්ධයේදීය. මේ කාලයේ සිම්බාබ්වේ රාජ්‍යයක් පැවැතියේ නැත. පැවැතියේ රොඬේෂියාවය. රොඬේෂියා රාජ්‍යය සිම්බාබ්වේ ලෙස වෙනස් වූයේ යටත් විජිතයක් ලෙස පැවැති එයට බි්‍රතාන්‍යයෙන් නිදහස හිමිවීමත් සමඟය.
1964 දී, රොබට් මුගාබේ, ‘රොඬේෂියානු’ රජයේ සිරකරුවෙකු විය. මුගාබේ සටන් කළේ රොඬේෂියාවේ පාලකයන් වුණු සුදු පාලකයන්ට එරෙහිවය. මුගාබේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදුණේය. තවමත් අප්‍රිකා රටවල බොහෝ නායකයන් මුගාබේ වෙනුවෙන් කතා කරන්නේත් ඔහුට ගරු බුමුහන් දක්වන්නේත් ඔහු සුදු ජාතිකයන්ට එරෙහිව කළ අරගලය අමතක නොකරන නිසාය.
1980 වසරේ පැවැති මැතිවරණයෙන් මුගාබේ සිම්බාබ්වේ අගමැති ධුරයට පත් විය. ඔහු ජනපති ධුරයට පත් වූයේ 1987 වසරේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරමිණි.
(ඒ.එෆ්.පී.)