සමුළුව අවලංගු කිරීම කනගාටුවක්
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව අවලංගු කිරීමට, ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් තීරනය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් කියයි.
කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව, ජූනි 12 වැනිදා, සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් උතුරු කොරියානුවන්ගෙන් දිගින් දිගටම එල්ල වුණු එදිරිවාදිකම් හේතුවෙන් හමුව අවලංගු කිරීමට සිදුවුණු බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.
ජනාධිපති ට්‍රම්ප් ඒ බව දන්වා, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ලිපියක් ද යවා ඇත. ඇමෙරිකා ජනපතිවරයා ගත් එම තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටුවට පත් වන බවත්, ඉදිරියේ දී ඔහු කැමැති ඕනෑම වේලාවක, කැමැති ඕනෑම තැනක ඔහු හමුවීමට තමන් සූදානමින් සිටින බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත.
හමුව පැවැත්විමට කටයුතු යෙදුණේ නම්, එය ඓතිහාසික හමුවක් වනු ඇති බවත්, ලෝක සාමය වෙනුවෙන් සහ උතුරු කොරියාවේ අනාගතය වෙනුවෙන් එම හමුව වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත් ට්‍රම්ප්, උතුරු කොරියා නායකයාට යැවූ ලිපියෙහි සඳහන් වී ඇත. එම ලිපිය ද මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති හමුවීම නිමිත්තෙන් උතුරු කොරියා නායකයා එරට අත්අඩංගුවේ සිටි කොරියානු සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතිකයන් තිදෙනකු මීට සති කිහිපයකට පෙර නිදහස් කර ආපසු ඇමෙරිකාවට යැවීය. ඒ සම්බන්ධයෙන් තමන් කෘතඥ වන බව ට්‍රම්ප් සිය ලිපියෙහි සඳහන් කර ඇත. ඊට අමතරව උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් දිගින් දිගටම පුරසාරම් දෙඩීම, ට්‍රම්ප්ගේ දෝෂ දර්ශණයට හේතුවක් ද වී ඇති බව ලිපියෙහි සඳහන් වී ඇත.
‘ඔබ තවමත් ඔබේ න්‍යෂ්ටික බලය සහ හැකියාව ගැන පුරසාරම් දොඩනවා. එහෙම කිරීම හොඳ නැහැ. ඔබ තේරුම් ගන්න ඕනෑ, ඇමෙරිකාවේ අප සතුව ඔබට වඩා න්‍යෂ්ටික බලය තිබෙනවා. දෙවියන්ගේ නාමයෙන් ඔබට හෝ අපට හෝ ඒවා පාවිච්චි කරන්න නොලැබෙනවා මම ප්‍රාර්ථනා කරනවා.
අප දෙදෙනා අතරේ යහපත් සබඳතා ගොඩ නැගෙමින් තිබුණා. ඒ ගැන මට ඇත්තටම සතුටුයි. අනෙක් කවුරුත් කියන දේ නොවෙයි ඔබ සහ මම අතර සිදුවන කතාබහ තමයි වැදගත්. කවදා හෝ දිනෙක අපට මුහුණට මුහුණ හමුවන්න ලැබේවි. එයයි මගේ පැතුම. ඔබ අත්අඩංගුවේ සිටි ඇමෙරිකානු කොරියානු වැසියන් තිදෙනා නිදහස් කිරීම ගැන මම කෘතඥ වෙනවා. එම තිදෙනා නිදහස් කිරීම ඔබ කළ යහපත් ක්‍රියාවක්. එය අප අමතක කරන්නේ නැහැ.
අප දෙදෙනාගේ හමුවීම ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වීමට ඉඩ තිබුණා. මගේ අදහස නම් අපි දෙදෙනා හමුවිය යුතුමයි යන්නයි. මට ඇමතුමක් දෙන්න, ලිපියක් ලියන්න පසුබට වෙන්න එපා. ඇතිවුණු සබඳකම් දිගටම පවත්වා ගෙන යන්න ඕනෑ. සාමය වෙනුවෙන් කැපවෙමින්, සමෘද්ධිය කරා යන්න උතුරු කොරියාවට ලැබුණු හොඳ අවස්ථාවක් මඟ හැරුණා. අපේ හමුව පැවැත්වුණා නම්, එය ඓතිහාසික සිදුවීමක් වේවි.’ යැයි ජනාධිපති ජොනල්ඞ් ට්‍රම්ප් යැවූ ලිපියෙහි සඳහන් වෙයි.
ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුවට සියල්ල සූදානම් වෙද්දී, ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කළ ප්‍රකාශයක් සහ ඉන්පසු ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් උතුරු කොරියාව දැඩි ලෙස ඇමෙරිකාව විවේචනය කරන්න විය.
ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත්තේ ඇමෙරිකාව, ලිබියානු මොඩලය, උතුරු කොරියාවට ආදේශ කරන බවය. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි කැරැලිකරුවන් අතින් අමු අමුවේ මරා දැමුණේ එම ‘ලිබියානු මොඩලය’ හේතුවෙනි. උතුරු කොරියාවේ දැඩි විරෝධය එම ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල විය.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීම, අවලංගු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා කනගාටුව පළ කරයි.
(රොයිටර්/ඒ.එෆ්.පී.)