වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාරයක්
වෙනිසියුලා රජයට එරෙහිවුණු එරට පොලිස් නිලධාරියකු හෙලිකොප්ටරයක් පැහැර ගනිමින්, වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.
හෙලිකොප්ටරය පියාසර කරමින් එම පොලිස් නිලධාරියා කැරැකස් අගනුවර පිහිටි වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට අත් බෝම්බ දෙකක් හෙළා ඇත. ඒවා පුපුරා ගිය නමුත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ මාධ්‍ය හමුවේ කියා සිටියේ එය ත්‍රස්ත ක්‍රියාවක් කියාය. අත් බෝම්ප හෙළු පොලිස් නිලධාරියා ඔස්කාර් පෙරේස් නමැත්තාය.
ප්‍රහාරයට පෙර ඔහු ඉන්ස්ට්‍රග්‍රෑම් හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත. ඒ, මුහුණු ආවරණය කරගත් විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන් පිරිසක් ද සමඟය.
වෙනිසියුලා ජනපති නිකලස් මදුරෝ ප්රමුඛ රජය වෙනිසියුලා වැසියන් දිනෙන් දින පීඩාවට පත් කරන බවත්, අධිකරණයේ අවසරය පරිදි විරෝධතාකරුවන් අමුඅමුවේ මරා දමන බවටත් ඔස්කාර් පෙරේස් එම වීඩියෝ පණිවුඩය ඔස්සේ රජයට චෝදනා කරයි. තමා මෙය කරන්නේ සාමය වෙනුවෙන් බව ද පොලිස් නිලධාරියා වැඩි දුරටත් පවසා ඇත.
වෙනිසියුලාව මේ වනවිට අර්බුද රැසකට මුහුණ දී සිටී. ආර්ථික අර්බුදය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. වෙනිසියුලා වැසියන් දහස ගණනක් කුසට අහරක් නොමැතිව පීඩා විඳිති.
පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට වෙනිසියුලා රජයට එරෙහි විරෝධතා පැවැත්වෙයි. එම විරෝධතා හේතුවෙන් මේ වනවිට 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත.
(රොයිටර්)