විරෝධය දක්වන්න තානාපති කැඳවලා



ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තානයෙන් ඇමෙරිකාවට සත පහක උදව්වක් නොලැබුණු බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පෑමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළේය.

පාකිස්තානයෙන් සත පහක උදව්වක් නොලැබුණු බව ඇමෙරිකා ජනාධිපති චෝදනා කළේ ටිව්ටර් පණිවුඩයක් හරහාය.

ඊට පිළිතුරු දෙමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පෙරළා ට්විටර් පණිවුඩයක් සටහන් කර ඇත.
පාකිස්තානය සැමවිටම ත්‍රස්තවාදය හෙලා දකින බවත්, ත්‍රස්තවාදය පිළිකුල් කරන බවත් ඉම්රාන් එම ටිව්ටර් පණිවුඩය හරහා පවසා ඇත. ‘ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින්, ඇෆ්ගන් සංග්‍රාමය ආරම්භ කළ අවස්ථාවේ පටන් පාකිස්තාන රජයේ සහාය ඇමෙරිකාවට නොඅඩුව ලැබුණා. ඇමෙරිකාව ඒ වෙනුවෙන් පාකිස්තානයට ණය ගැති වෙන්න ඕනෑ. පාකිස්තානය ඇමෙරිකාවට සහාය දුන් නිසා අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත් වුණේ පාකිස්තාන වැසියන් බව අමුතුවෙන් මතක් කර දෙන්න ඕනෑ නැහැ’ යැයි අගමැති ඉම්රාන් ඛාන් නිකුත් කළ ට්විටර් පණිවුඩයෙහි සඳහන් වෙයි.

මේ අතර, ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයට විරෝධය දක්වමින්, ඉස්ලාමාබාද් අගනුවර සිටින ඇමෙරිකන් තානාපති පෝල් ජෝන්ස් කැඳවා විරෝධය පෑමට ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළ බව ද වාර්තා වේ.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තානයෙන් ඇමෙරිකාවට ‘සත පහක උදව්වක්’ නොලැබුණු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා නැගුවේ පසුගිය 19 වැනිදාය. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ චෝදනා නැගුවේ පාකිස්තානයට ලබා දෙන්න වූ ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක මුදල් ආධාර නැවැත්වීමට තීරණය කරමිණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS