විපක්ෂ නායක අත්අඩංගුවට
නිවාස සහ පානීය ජල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අල්ලස් ගත් බවට එල්ල වන චෝදනා මුල්කොට ගනිමින්, පාකිස්තාන විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා වේ.
67 හැවිරිදි ෂෙබාස් ෂරීෆ්, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයේදී මුස්ලිම් ලීගය එන් පක්ෂය මෙහෙයවූයේ ඔහුය. අගමැති ධුරයේ කටයුතු කළ නවාස් ෂරීෆ්ට අගමැති ධුරය පමණක් නොව මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායකත්වය ද අහිමි වූයේ ද ඔහුට එල්ල මූල්‍ය වංචා චෝදනා හේතුවෙනි.
ෂෙබාස් ෂරීෆ් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර තිබේ. එසේ කටයුතු කරද්දී, ඔහු ‘අෂියානා’ නමැති නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් පාකිස්තාන රුපියල් බිලියන 14 ක මුදලක් ද පානීය ජලය සපයන ‘පන්ජාබ් සාෆ් පානී’ සමාගමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් පාකිස්තාන රුපියල් බිලියන 4 ක මුදලක් ද අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ෂෙබාස් ෂරීෆ් අත්අඩංගුවට ගැනීම පාකිස්තාන මුස්ලිම් ලීගය එන් විපක්ෂ දේශපාලන කණ්ඩායම සිය විරෝධය පළකර ඇත. ඔවුන් චෝදනා කරන්නේ ෂෙබාස් ෂරීෆ් දේශපාලනික පළිගැනීම්වලට ලක් වී ඇතැයි කියාය.
දූෂණ චෝදනා මුල්කොට ගනිමින් අගමැති ධුරයේ සිටි නවාස් ෂරීෆ් අගමැති ධුරය දැරීමට සුදුසු නැති බව පාකිස්තාන අධිකරණය තීන්දු කළ අවස්ථාවේදී, පක්ෂ නායකත්වයට පවා ඔහු සුදුසු නැති බව පෙන්වා දුන්නේය.
නවාස් ෂරීෆ්ට අගමැති ධුරය පමණක් නොව පක්ෂ නායකත්වය ද අහිමි වූ අවස්ථාවේදී මුස්ලිම් ලීගය එන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒකමතිකව පක්ෂ නායකත්වය සඳහා ෂෙබාස් ෂරීෆ් පත් කර ගැනීම සිදුවිය.
දූෂණ වංචා හේතුවෙන් ජනතාව අතරේ අපකීර්තියට පත්වුණු බැවින් මුස්ලිම් ලීගය එන් පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නොහැකි විය. ජයග්‍රහණය කළේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වුණු ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි.
(එන්.ඩී.ටීවී.)