රාම් සිං අවුරුදු 20 ක් හිරේ
තරුණියන් දෙදෙනක දූෂණය කළේ යැයි වරදකරු වූ ඉන්දියාවේ ‘දෙරා සචා සෞදා’ ආගමික නිකායේ නායක ගුර්මීත් රාම් රහීම් සිංට වසර 20 ක සිර දඬුවමක් හිමිවිය.
ගුර්මීත් රාම් රහීම්ට එරෙහි නඩු තීන්දුව ප්රකාශ කරන ලද්දේ රොතාක් අධිකරණයක් මගිනි. තරුණියන් දෙදෙනා අපහරණයට ලක් කිරීම සම්බන්ධයෙන් රාම් සිංට වසර 10 බැගින් 20 වසරක සිර දඬුවමක් ලබා දීමට විනිසුරුවරයා තීරණය කළේය.
රාම් සිං මෙම තරුණියන් දෙදෙනා දූෂණය කර ඇත්තේ මීට වසර 15 කට පෙර, 2002 වසරේදීය. එම කාන්තාවන් දෙදෙනා ‘දෙරා සචා සෞදා’ නිකායේ අනුගාමිකයන් වී සිට ඇති අතර, ඔවුන්ට අතවර සිදුවී ඇත්තේ ගුර්මීත් රාම් රහීම් සිංගේ ආශ්රමයේදීය.
නඩු තීන්දුවත් සමඟ ‘දෙරා සචා සෞදා’ ආගමික නිකායට සම්බන්ධ, ගුර්මීත් රාම් රහීම් සිංගේ අනුගාමිකයෝ වීදි බැස ප්රචණ්ඩ ක්රියාවල නියැලෙන්න වූහ. කෙසේ නමුත් හමුදාව සහ පොලිසිය සීරුවෙන් සිටි නිසා ඔවුන් විසුරුවා හැරුණි. සාමය කඩවන අයුරින් හැසිරෙන ඕනෑම අයකුට වෙඩි තැබීමට පසුබට නොවන බව රොතාක් පොලිසිය පවසා තිබුණි.
කලහකාරීන්ගෙන් බාධා එල්ල වීමත් ඔවුන් රෝතක් අධිකරණ භූමියට කඩා වැදීමට තැත් කළ නිසාත් විනිසුරු ජග්දීප් සිං අධිකරණයට රැගෙන එන ලද්දේ රජයට අයත් හෙලිකොප්ටරයකිනි.
විනිසුරුවරයා වසර 20 ක සිර දඬුවමක් නියම කරද්දී, ‘මට සමාවෙන්න. මම නිර්දෝෂීයි’ කියමින් ගුර්මීත් රාම් රහීම් සිං අධිකරණය තුළ හඬා වැළපෙන්න වූහ. බන්ධනාගාරයට යෑමට ඔහු අදිමදි කරන්න වූයේය. බන්ධනාගාර නිලධාරීන් සහ කොමාන්ඩෝ භටයන් එක් වී, ඔහු රෝතක් බන්ධනාගාරය වෙත රැගෙන යන ලද්දේ බලහත්කාරයෙනි.
(එන්.ඩී.ටීවී.)