රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය
ඇමෙරිකා ජාතිකයන් දෙදෙනකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයකු මේ වසර සඳහා රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
“පරිසර හිතකාමී දියර පිරිසුදුකාරක, ජෛව වායූ සහ පිළිකා ඖෂධ යනාදියේදී භාවිත කරන නව ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේ බල විකාශනය පාලනය කිරීම සහ එයින් ප්‍රයෝජන ගැනීම” යන්න හේතු කරගනිමින් ඔවුන්ට රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය 2018 පිරිනමන බව නොබෙල් කමිටුව සඳහන් කළේය.
ඇබ්වී සමාගම අලෙවි කරන ප්‍රතිදේහ ‘හුමීරා’ එන්නත ඔවුන්ගේ මෙම සොයාගැනීමේ ප්රතිඵලයකි. මෙම එන්නත ලොව වැඩියෙන්ම අලෙවිවන ඖෂධවලින් එකකි. මෙම එන්නත රක්තවාත ආතරයිටිස් රෝගයට සහ අනෙකුත් ස්වභාවික ප්‍රතිශක්තිය හීනවීම නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගනී.
කැලිෆෝනියාවේ තාක්ෂණික ආයතනයේ ෆ්රාන්සස් ආර්නොල්ඞ්, මිසුරු විශ්ව විද්‍යාලයේ ජෝර්ජ් ස්මිත් සහ බ්‍රිතාන්‍යයේ එම්.ආර්.සී. හී අණුක ජීව විද්‍යා විද්‍යාගාරයේ ග්‍රෙගරි වින්ටර් මෙසේ මේ වසර සඳහා රසායන විද්‍යා විෂය ක්ෂේත්රය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය ලැබුවෝ වෙති. මොවුහු එන්සයිම සහ ප්‍රතිදේහ විද්‍යාව පිළිබඳ විෂය ක්ෂේත්රයෝ ප්‍රවීණයෝ වෙති.
ෆ්රාන්සස් ආර්නොල්ඞ් රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනූ නවවැනි කාන්තාවය. නොබෙල් ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයෙන් අඩක් ඇයට හිමිවන අතර ඉතිරි අඩ ස්මිත් සහ වින්ටර් අතරේ බෙදීයනු ඇත.
මේ වසරේදී මේ දක්වා පිරිනමන ලද නොබෙල් ත්‍යාගවලින් කාන්තාවක නොබෙල් ත්‍යාග දිනූ දෙවැනි අවස්ථාව මෙයයි. භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට කැනඩාවේ ඩෝනා ස්ටි්රක්ලන්ඞ් සමත්වූවාය.
මේ සතියේ මේ දක්වා කාලයේදී වෛද්‍ය විද්‍යාව සහ භෞතික විද්‍යාව නොබෙල් ත්‍යාග පිරිනමන ලදි. සිකුරාදා (5) මේ වසරේ සාමය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය දිනාගන්නේ කවුරුන්දැයි නිවේදනය කිරීමට නියමිතය.
(රොයිටර්)