රජුගේ දේහය වසරකට පසු ආදාහනය කෙරේ



වසරකට පෙර අභාවප්‍රාප්ත තායිලන්තයේ භූමිබෝල් අබ්දුල්යාදේජ් රජුගේ දේහය, ආදාහනය කෙරුණි.

තායිලන්ත භූමිබෝල් අබ්දුල්යාදේජ් රජු එරට වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ අයෙක් විය. ඔහු දේව පුත්‍රයකු ලෙස ද තායිලන්ත වැසියන් විසින් පිළිගනු ලැබුණි.

අභාවප්‍රාප්ත තායිලන්ත රජවරුන් වෙනුවෙන් විශේෂ අවමංගල්‍යයක් පැවැත්වෙයි. වසරක් තිස්සේ බැංකොක්හි රජ මාලිගයේ වීදුරු පෙට්ටියක රජුගේ දේහය තැම්පත් තර තැබුණු අතර, රටේ නන්දෙසින් පැමිණි වැසියයෝ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

භූමිබෝල් රජු අභාවප්‍රාප්ත වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේය. අභාවප්‍රාප්ත වනවිට රජුගේ වයස අවුරුදු 88 ක් විය. රජුගේ අභාවයෙන් පසු රජුගේ පුතුට කිරුළ හිමිවිය. ඔහු මහා වජ්රලෝංග්කෝන් යන නමින් රජකමට පත් වූයේය.

වසරක් තිස්සේ පැවැති අවමංගල්‍යය අවසන් වන්නේ පස් දින විශේෂ අවමංගල්‍ය උත්සවයකිනි. ඊයේ දිනයේ දේහය ආදාහනය කෙරුණි. ඒ බෞද්ධ මෙන්ම හින්දු චාරිත්‍රවලට අනුව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

මීටර් 50 ක් උසින් යුක්ත වුණු චිතකය පසුගිය මාස 10 ක කාලය තිස්සේ නිර්මාණය කරනු ලැබුවේ තායිලන්තයේ සිටින සාම්ප්‍රදායික මෙන්ම ප්‍රවීණ කලාකරුවන්ගේ එකමුතුවෙනි. ඊට රන් ආලේප කර තිබුණි. දේහය චිතකය වෙත රැලෙන යනු ලැබුවේ රත්තරන් ආලේප කර නිර්මාණය කළ සුවිශේෂී රාජකීය කරත්තයෙනි. චිතකය දැල්වීම සිදු කරනු ලැබුවේ මහා වජ්රලෝංග්කෝන් රජු විසිනි.

දස දහස් ගණනින් රජුට අවසන් වරට සුබ පැතීමට කළු ඇඳුමින් සැරැසුණු තායිලන්ත වැසියෝ බැංකොක් රජ මාලිගය වෙත පැමිණියහ. අවසන් අවමංගල කටයුතු වෙනුවෙන් තායිලන්ත රජය සහ එරට පෞද්ගලික අංශය ද එක් වී සිටි බව ද වාර්තා විය.

දේශපාලන අර්බුද රැසකින් පසු, අද වනවිට තායිලන්තයේ පවතින්නේ එරට හමුදා පාලනය යටතේය. හමුදා ජුන්ටාව කියා සිටියේ පවුම් මිලියන 80 කට වැඩි මුදලක් රජුගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් වැය කෙරුණු බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS