පාලක පක්ෂයට පහසු ජයක්
කාම්බෝජ මහ මැතිවරණය පෙරේදා (29) පැවැත්වුණු අතර, එයින් පහසු ජයක් හිමිකර ගැනීමට 1985 වසරේ සිට බලයේ රුඳී සිටින අගමැති හුන් සෙන් ප්රමුඛ කාම්බෝජ ජනතා පක්ෂය සමත් විය.
මැතිවරණයට දේශපාලන පක්ෂ 19 ක් ඉදිරිපත් වුවත්, කාම්බෝජ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ජාතික ගලවා ගැනීමේ පෙරමුණ ඉදිරිපත් වූයේ නැත.
ඒ, පසුගිය වසරේ නොවැම්බරයේ කාම්බෝජ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික ගලවා ගැනීමේ පෙරමුණ තහනම් කරනු ලැබීම හේතුවෙනි.
ජාතික ගලවා ගැනීමේ පෙරමුණ තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේ එම පක්ෂයේ සාමාජිකයන් ඇමෙරිකාව සමග එක් වී, කාම්බෝජ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කරනවා යැයි අගමැති හුන් සෙන් ප්රමුඛ රජය චෝදනා කිරීමෙන් පසුවය.
පෙරේදා පැවැති මහ මැතිවරණයේදී සියයට 82.71 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි පැවසෙයි. අගමැති හුන් සෙන්ගේ පාලක පක්ෂය, පාර්ලිමේන්තුවේ ආසන 125 න් ආසන 100 ක් දිනා ගෙන තිබුණු බව කාම්බෝජ රජයේ පුවත් සේවා වාර්තා කළේය. එය සියයට 80 ක ප්‍රතිශතයක් බව ද පැවැසිණි.
මැතිවරණය පැවැත්වෙද්දී, පෞද්ගලික පුවත් නාළිකා, ගුවන් විදුලි නාළිකා, සමාජ ජාල සහ වෙබ් පුවත් සේවා තාවකාලිකව නවතා දැමීමට කාම්බෝජ රජය පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් බටහිර රටවල් රුසකින් දැඩි විරෝධයක් එල්ල විය.
අගමැති හුන් සෙන් සහ ඔහුගේ කාම්බෝජ ජනතා පක්ෂය මෙසේ විශ්ෂ්ට ජයක් අත්පත් කර ගත්තේ, ඔහුට අභියෝගයක් කිරීමට ප්‍රතිවාදියකු නොවුණු නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කාම්බෝජය යනු තායිලන්තයට සහ මියන්මාරයට මායිමව පිහිටි අග්නිදිග ආසියාවට අයත් රාජ්‍යයකි. පෙරේදා පැවැති මහ මැතිවරණය ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් නොවන බව ඇමෙරිකාව පමණක් නොව, යුරෝපා සංගමය ද පවසා ඇත.
චීනය කාම්බෝජයට සමීප වී කටයුතු කරයි. මෙවර මැතිවරණයට පළමු වරට චීන මැතිවරණ නිරීක්ෂකයෝ පිරිසක් ද සහභාගී වූහ.
(ඒ.එෆ්.පී.)