ප්‍රංශ ජනපති රුසියා ජනපති හමුවෙයි



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් නිල සංචාරයක් සඳහා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණියේය.

මැක්රොන් ප්‍රංශ ජනාධිපති ලෙස රුසියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මැක්රොන් මෙසේ රුසියාවට ගොස්, රුසියානු ජනාධිපතිවරයා හමුවී ඉරාන න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. දෙදෙනා අතර හමුව පැවැත්වූයේ කොන්ස්තන්තීන් මාලිගයේදීය. මෙම මාලිගය පිහිටා ඇත්තේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිට කිලෝ මීටර් 20 ක දුරකිනි.

2015 වසරේ දී, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, රුසියාව, චීනය, ප්‍රංශය සහ ජර්මනිය එක් වී ඉරානය සමඟ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගත්තේය. ඒ, ඉරානය පරමාණු බෝම්බ සෑදීම වළක්වමිනි.
කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එම එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගෙන ඇති අතර, ඉරානයට නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක් පැනැවීමට ද සූදානම් වෙයි.

මහා බ්‍රිතාන්‍යය, රුසියාව, චීනය, ප්‍රංශය සහ ජර්මනිය පවසා ඇත්තේ තමන් ඉරාන ගිවිසුමෙන් ඉවත් නොවන බවය. ඇමෙරිකාවෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීමට තමන් සහාය දක්වන බව රුසියාව, ඉරානයට පවසා ඇත.
ඉරාන න්‍යෂ්ටික එකඟතාවට අමතරව, රුසියාව මැදිහත් වී සිටින සිරියානු අර්බුදය සහ යුක්රේන අර්බුදය ගැන ද මැක්රොන් සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS