නම වෙනස් කිරිම අසාර්ථකයි



මැසිඩෝනියාව රටේ නම වෙනස් කිරීමට පසුගියදා පැවැත්වූ ජනමත විචාරණය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් අගමැතිවරයා එම පරාජය භාර ගැනීමට  සූදානම් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.රටේ නම වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට අවතීර්ණ වන බවට මැසිඩෝනියා අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දී  තිබේ.ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ පසුගියදා ඒ සඳහා රට තුළ පැවති අසාර්ථක ජනමත විචාරණයකින් පසුවයි.

ග්‍රීසිය සමඟ රටේ නම වෙනස් කිරීම සඳහා වන ගිවිසුමකට මැසිඩෝනියාව එළඹුණේ පසුගිය ජුනි මාසයේදී වන අතර දශක ගණනාවක් පවතින  මෙම අර්බුදය හේතුවෙන් මැසිඩෝනියාවට නේටෝ සංවිධානයේ  සහ යුරෝපා සංගමයේ  සාමාජිකත්වය ලබාගැනීමට පවා නොහැකි වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

ජනමත විචාරණයේ නෛතික වලංගුභාවය සඳහා සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වී තිබුණි.එය අවසන් වීමට පැය එක හමාරකට පමණ පෙර ඒ සඳහා ඡන්දය භාවිත කර ඇති සංඛ්‍යාව ලෙස සටහන්ව ඇත්තේ රටේ ජනගහණයෙන් සියයට තිස් හතරක ප්‍රමාණයක් බව වාර්තා වේ.

අපේක්ෂිත ඉලක්කය කරා ළඟාවීමට අපොහොසත් වූ එම ජනමත විචාරණය හරහා පෙනී යන්නේ මැසිඩෝනියා වැසියන් බහුතරය රටේ නම වෙනස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.අගමැතිවරයා ප්‍රතිඵලය සම්බන්ධව මෙතෙක් කිසිවක් සඳහන් කර නැතත් නව වෙනසකට කැමැත්ත පලකළ  පුද්ගලයින්ගේ ඡන්දයට ගරු කළ යුතු බව සඳහන් කළේය.

ඉදිරියේදී ඔහු පාර්ලිමේන්තු ඡන්දයක් සඳහා යොමුවීමට අපේක්ෂා කරන අතර එය තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට අපොහොසත් වුවහොත්  රට තුළ නියමිත කාලයට පෙර මැතිවරණයකට මාර්ගය සකසනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

මේ අතර ග්‍රීසිය සමඟ එළඹී එකඟතාවකට අනුව රටේ නම වෙනස් කිරීම සඳහා පැවති ජනමත විචාරණයේ අසාර්ථක භාවය සමරනු වස් මැසිඩෝනියා වැසියන් විශාල පිරිසක් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළට ඒකරාශී වී සිටියි.

( තිළිණි ද සිල්වා )

සී.එන්.එන්. ඇසුරෙනි


RECOMMEND POSTS