දිවුරුම් දීම 14 වැනිදා



පාකිස්තාන නව අගමැති ලෙස ඉම්රාන් ඛාන් දිවුරුම් දෙනු ඇත්තේ, ලබන අගෝස්තු 14 වැනිදාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනය දා යැයි ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනය කළේය.

පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය 25 වැනිදාය. එයින්, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ඉදිරියට පැමිණියේ, ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී.ටී.අයි. හෙවත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි.

පාකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 342 දෙදෙනකුගෙන් සමන්විතය. එයින් 272 ක් සෘජුව තෝරා ගැනීම සිදුවෙයි. දේශපාලන පක්ෂයකට තනිවම රජයක් පිහිටුවීමට නම් ආසන 172 ක බහුතරයක් හිමි කර ගැනීම කළ යුතුය.

කෙසේ නමුත් ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට හිමිවූ​යේ ආසන 115 ක් පමණි. එහෙයින්, නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ස්වාධීන පක්ෂ එක් කර ගැනීමට ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂයට සිදුවෙයි. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසා ඇත්තේ රජයක් පිහිටුවීමේ අරමුණින්, මේ වනවිටත් ඔවුන් සෙසු ස්වාධීන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වන බවය.

මේ අතර, නව පාකිස්තාන අගමැති ලෙස එම ධුරයට පත් වන ඉම්රාන් ඛාන්ට අසල්වැසි ඉන්දියාව සුබ පතා ඇත. ඉම්රාන් ඛාන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු​ ලෙසත් නායකයා ලෙසත් දස්කම් දක්වද්දී, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමද් අසරැදීන් ඔහුගේ සමකාලීනයෙක් විය.

ක්‍රිකට් පිටියේදී අභීත තීරණ ගත් අයුරින් පාකිස්තාන අගමැති ලෙසත් තීරණ ගන්නා ලෙසත්, ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නා ලෙසත් මොහොමද් අසරැදීන්, ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS