තානාපති කැඳවා විරෝධය දක්වයි



‘හුවායි’ සමාගමේ මූල්‍ය ප්‍රධානියා මෙන්ම, එම සමාගමේ හිමිකරුගේ දියණිය ද වන 46 හැවිරිදි මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, චීන රජය එරට ඇමෙරිකා තානාපති කැඳවා ටෙරී බැන්ස්ටර්ඞ් විරෝධය පළ කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය දා ඇය කැනඩාවේ වැන්කූවර් නුවරට පැමිණි අවස්ථාවේදීය. කැනඩා රජය මැදිහත් වී, මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම කළේ ඇමෙරිකාවේ උපදෙස් සහ අවශ්‍යතාව මත යැයි චීනය චෝදනා කරයි.

ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමිනි. සම්බාධක හමුවේ, චීනයේ හුවායි සමාගම ඉරානය සමඟ ගනුදෙනු කරන බවට ඇමෙරිකාව චෝදනා කරයි.

මෙංග් වාංෂූ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ එම චෝදනා මුල්කොට ගනිමින් යැයි චීනය කියයි. කෙසේ නමුත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඉකුත් සිකුරාදා (7) කියා සිටියේ, මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම ඇමෙරිකාවේ බලපෑම මත හෝ දේශපාලන බලපෑමක් මත හෝ සිදුවූවක් නොවන බවය. කෙසේ නමුත් මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ කුමක් නිසාදැයි මෙතෙක් අනාවරණය වී නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS