ත්‍රස්තවාදීන්ට වධ හිංසා



අල්-කයිඩා ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකුට වධ හිංසා පැමිණවීම සඳහා ලිතුවේනියාව සහ රුමේනියාව CIA සංවිධානයට සහාය දී ඇති බව යුරෝපා විනිසුරුවරු තීන්දු කර තිබේ.

ලිතුවේනියාව සහ රුමේනියාව ඇතුළු තවත් ස්ථානවල CIA සංවිධානය රහසිගත සිර කඳවුරු පවත්වාගෙන යන අතර එමඟින් එම රටවල් දෙකම වධ හිංසා තහනම පිළිබඳ යුරෝපා නීති උල්ලංඝණය කර ඇති බව මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයේ තීන්දුවයි.

ඒ අනුව එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 117,000 ක් වශයෙන් වන්දි ගෙවන ලෙස එම රටවලට නියම කෙරුණි.මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය, 2014 දී පෝලන්තයට එරෙහිව මීට සමාන තීන්දුවක් ලබා දුන්නේය.

"කිසිවෙකුත් වධ හිංසාවන්ට, අමානුෂික හෝ ආත්ම ගෞරවයට හානිවන ක්‍රියාවන්ට ලක් නොකළ යුතු" බව මානව හිමිකම් සම්බන්ධ යුරෝපා ප්‍රඥාප්තියේ දැක්වෙයි.

අනෙක් බන්ධනාගාරවලදී සිදු වූ ආකාරයට ලිතුවේනියාව සහ රුමේනියාවේ දී අදාළ සැකකරුවන්, නැවත නැවත ප්‍රශ්න කිරීමට හෝ වධ හිංසාවට ලක් නොවුණ නමුත් මෙම දෙරටම CIAසංවිධානයට උපකාර කළ අතර සිර කඳවුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමට අසමත් වූ බව තීන්දුවේ සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS