ට්‍රම්ප්ගේ පළමු ඉෆ්තාර් භෝජන සංග්‍රහය



ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා ලෙස පළමු වරට ‘ඉෆ්තාර්’ භෝජන සංග්‍රහයක් ධවල මන්දිරියේදී පැවැත්වීය.

එම ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට මුස්ලිම්වරුන් රැසකට ආරාධනා කර තිබිණි. ජනාධිපතිධුරයට පත්වීමට පෙරත් ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුත් ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් වාග් ප්‍රහාර එල්ල කළ අතර ධවල මන්දිර සම්ප්‍රදායක් කඩකරමින් ජනාධිපතිධුරයට පත්වූ පළමු වසරේදී ‘ඉෆ්තාර්’ භෝජන සංග්‍රහයක් නොපැවැත්වීමට ද ක්‍රියා කළේය. ට්‍රම්ප්ට පෙර සිටි ඇමෙරිකා ජනාධිපතිවරුන් බොහෝමයක් දෙනා වාර්ෂිකව මුස්ලිම්වරුන්ගේ රාමදාන් උපවාස මාසයේදී ‘ඉෆ්තාර්’ භෝජන සංග්‍රහ පවත්වා තිබේ.

ලොව පුරා මුස්ලිම් ජාතිකයන් මිලියන ගණනක් රාමදාන් උපවාස මාසයේ එම වත් පිළිවෙත් අනුගමනය කරන අතර රාමදාන් උපවාස මාසය ලබන 14 වැනිදායින් අවසන් වේ.  හිරු උදාවේ සිට අවරට යන තෙක් මුස්ලිම් ජාතිකයෝ ආහාර සහ පාන ගැනීමෙන් වැළැකී සිටිති. උපවාසයේ යෙදීමෙන් පසු යාඥාවල යෙදෙන මුස්ලිම්වරුන් ආහාර ගන්නා අතර එය ‘ඉෆ්තාර්’ භෝජනය යනුවෙන් හැඳින්වේ.

ජනාධිපති ට්‍රම්ප් පවත්වන ලද ‘ඉෆ්තාර්’ භෝජන සංග්‍රහයේ ප්‍රධාන මේසයේ අමුත්තෝ 50 දෙනෙක් වූහ. සෞදි තානාපති කලීඞ් බෙන් සල්මාන් කුමරු සහ ජෝර්දාන තානාපතිනි ඩිනා කවර් ට්‍රම්ප් අසළින් වාඩි වී සිටියහ.

එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ඊජිප්තුව, ටියුනීසියාව, ඉරාකය, කටාර් රාජ්‍යය, බහ්රේනය, මොරොක්කෝව, ඇල්ජීරියාව සහ ලිබියාව යන රටවල තානාපතිවරු මෙම ‘ඉෆ්තාර්’ රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා ලැබ සිටියහ. 

“ඔබට සියලු දෙනාටත් ලොව පුරා සිටින මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාටත් රාමදාන් මුබාරක්” යැයි ට්‍රම්ප් කීය.

“අද රාත්‍රියේ අපි මිත්‍රත්තවයත් සහයෝගීතාවත් නැවත ශක්තිමත් කරගන්නවා. අපේ බැඳීම් අලුත් කරගන්නවා. මැද පෙරදිග අපේ වටිනා මිත්‍රයන් මෙහි සිටිනවාව. ඔවුන් හා අප මිත්‍රත්තවය තවදුරටත් පවතිනවා” යැයි ද ට්‍රම්ප් කීවේය.

මෙම ‘ඉෆ්තාර්’ රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්වෙන අතරවාරයේදී ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාද පැවැත්විණි. ජනාධිපති ට්‍රම්ප් ප්‍රධාන මුස්ලිම් රටවල් කිහිපයක සංක්‍රමණිකයන්ට තහනමක් පැනවීමට එරෙහිව එම විරෝධතා පැවැත්විණි.
මේ අතර මෙම ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී සහභාගී නොවන බව ආරාධනා ලැබූ ඇමෙරිකා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක්ම සඳහන් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS