ජනපති ට්‍රම්ප් පෝලන්තයට
ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වීමට නියමිත ‘ජී20’ සමුළුවට සහභාගීවීමට යන අතරතුරේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පෝලන්තයේ කෙටි සංචාරයකට පැමිණියාහ.
ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා සමඟ ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ද වෝර්ෂෝ නුවරට පැමිණියහ.
පසුගිය කාලයේ ඩිමොක්රටික් පාක්ෂික ජනපති බැරැක් ඔබාමා සහ පෝලන්ත රජය අතරේ සබඳතා ගොඩ නැගුණේ නැතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එහෙයින්, ට්‍රම්ප් පෝලන්තයට පැමිණීම ගැන පෝලන්ත ජාතිකවාදී ජනාධිපති ඇන්ඞ්ජේස් ඩූබා අතිශය සතුටට පත් වී සිටින බව පෝලන්ත මාධ්‍ය කියයි.
ලොව ප්‍රබල ආර්ථික බලවතුන්ගේ හමුව ලෙස ‘ජී20’ හැඳින්විය සැලකෙයි. ප්‍රධාන රටවල් 20 ක රාජ්‍ය නායකයෝ ජී 20 සමුළුවට සහභාගී වෙති.
ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකන් ජනපති ලෙස සහභාගී වන පළමු ‘ජී20’ සමුළුව මෙය වනු ඇති අතර, ඇමෙරිකන් ජනාධිපති ලෙස ට්‍රම්ප් ජර්මනියට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වෙයි.
ට්‍රම්ප් රුසියානු හිතවාදියකු බවටත්, ට්‍රම්ප් පසුගිය වසරේ ඇමෙරිකන් ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළේ රුසියාවේ සහාය ලැබූ නිසා බවටත් චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ තවමත් පරීක්ෂණ පවත්වයි.
ට්‍රම්ප් රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිවාදියකු හෝ එදිරිවාදියකු ලෙස හෝ සලකන්නේ නැත. ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, පුටින් සමඟ අමනාපකම් ඇතිකර ගත්තේය. ඒ, යුක්රේන අර්බුදය සහ සිරියානු අර්බුදය මුල්කොට ගනිමිනි. ‘ජී7’ ලෝක බලවතුනගේ සමුළුවෙන් රුසියාව ඉවත් කිරීමට පවා ඔබාමා පරිපාලනය මැදිහත් විය.
ට්‍රම්ප් සහ පුටින් පළමු වරට මුහුණට මුහුණ හමුවන්නේ, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වීමට නියමිත මෙම ‘ජී 20’ සමුළුවේදීය. එම හමුව ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ. ඊට අමතරව, ට්‍රම්ප්ට, ජී 20 සමුළුවේදී, මෙක්සිකෝ ජනපති එන්රීක් පිනේ නිටෝ ද හමුවෙයි. මෙක්සිකෝව ඇමෙරිකාවේ අසල්වැසි රාජ්‍යයයි.
මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලැසුම් සකස් කර ඇති අතර, ඒ සඳහා මෙක්සිකෝවෙන් මුදල් ගන්නවා යැයි ද පවසා ඇත. එහෙයින්, ට්‍රම්ප් සහ මෙක්සිකෝ ජනපති අතරේ ඇයිහොඳයිකම් පළුඳු විය. මෙම ජී 20 සමුළුවේදී ට්‍රම්ප් සහ මෙක්සිකෝ ජනපති අතරේ ද හමුවක් පැවැත්වීමට නියමිතය. පළුදු වුණු සබඳතා එහිදී යළි ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇතැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී/රොයිටර්)