චෝදනා ගොනු කෙරේ



සේෆුලෝ සයිපෝව්, සුදු පැහැති පික් අප් වර්ගයේ ට්‍රක් රියක් පදවා, නිව්යෝක් පදිකයන් සහ පා පැදිකරුවන් යට කළේ පසුගිය 31 වැනිදා රාත්‍රියේය. ට්‍රක් රියේ හැපුණු අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු අතර 12 දෙනෙක් රෝහගල් ගත කෙරුණාහ.

තීන්ත විදින තුවක්කුවක් ද අතැතිව සිටි සේෆුලෝ සයිපෝව් එම ඝාතන සිදු කර පලා යද්දී පොලිසිය කළ වෙඩි තැබීම්වලින් තුවාල ලැබුවේය. කෙසේ නමුත් පොලිසියට සේෆුලෝ සයිපෝව් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවුණු අතර පසුව විලංගු දමා රෝහල් ගත කෙරුණි.

සේෆුලෝ සයිපෝව් අයි.එස්.අයි.එස්. හිතවාදියකු බව තහවුරු වී ඇති අතර, ඔහු මේ වනවිට නිව්යෝක් රෝහලක විශේෂ ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබයි.

සේෆුලෝ සයිපෝව් සෙල්ෆෝනයේ තිබී අයි.එස්. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වීඩියෝ දසුන් 90 කට වැඩි ප්‍රමාණයක් ද ආරක්ෂක අංශ අතර පත් වී ඇත. බෙලි කපන අමු අමුවේ වෙඩි තැබීම් සිදු කරන දසුන් ඒ අතරේ ඇතැයි පැවැසෙයි.

නිව්යොක් පොලිසිය සමඟ එෆ්.බී.අයි. සහ හෝම්ලෑන්ඞ් ස්වදේශීය ආරක්ෂක අංශය පරීක්ෂණ මෙහෙයවන බව පැවැසෙයි.

නීතීඥවරුන් පවසන්නේ සේෆුලෝ සයිපෝව්ට ත්‍රස්තවාදී චෝදනා එල්ල කරන බවය. අත්අඩංගුවේ සිටින සේෆුලෝ නිදහසේ සියලු කරුණා කාරණා තමන්ට පැවැසූ බව ද රජයේ නීතීඥවරු වැඩි දුරටත් කියා සිටිති.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා සවස ඇමෙරිකානුවෝ මළවුන්ගේ දිනය හෙවත් හොලොවීන් සැමැරුවේය. තමා ප්‍රහාරයට 31 වැනිදා සවස තෝරා ගත්තේ බොහෝ පිරිසක් වීදි බැස සිටිනු ඇතැයි අපේක්ෂා කරමින් යැයි ද සේෆුලෝ නීතීවරුන් හමුවේ කියා තිබේ.

සේෆුලෝ මෙම ප්‍රහාරය සැලැසුම් කර ඇත්තේ මීට මාස දෙකකට පෙරය. අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ධජය ද ට්‍රක් රියේ ලෙලදීමට සළස්වාපිරිස් යට කිරීමට ඔහු මුලින් සැලැසුම් කර ඇත. කෙසේ නමුත් වැඩි අවදානයක් යොමු වන නිසා එම අදහස අත්හැර දමා තිබේ.

ඉරාක මුස්ලිම්වරුන්ට එරෙහිව ඇමෙරිකාව සිදු කළ කුරිරුකම්වලට පළිගැනීමක් ලෙස තමා මෙම ප්‍රහාරය එල්ල කළ බවත්, තමාට පන්නරයක් ලැබුණේ අයි.එස්. නායක අබුබකර් බැග්ඩෑඩිගෙන් බවත් සේෆුලෝ නීතීඥවරුන් හමුවේ කියා සිටියේය.

නිව්යෝක් නියෝජ්‍ය පොලිස්පති ජෝන් මිලර් මාධ්‍ය හමුවේ කියා සිටියේ, අයි.එස්. ත්‍රස්තවාදීන් සමාජ ජාල ඔස්සේ ප්‍රහාර සිදු කරන්නැයි ලබා දෙන උපදෙස් සේෆුලෝ සයිපෝව් ඉතා නිවැරදිව අනුගමනය කර ඇති බවය.

සේෆුලෝ සයිපෝව්ට මරණ දඬුවම ලබා දිය යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත. ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මරණ දඬුවම ක්‍රියාත්මක වන නමුත් නිව්යෝක් නුවර අයත් නිව්යෝක් ප්‍රාන්තයේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවෙයි. ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ අට දෙනකු යට කර මරා දමා, 12 දෙනකු රෝහල් කළ අයි.එස්. හිතවාදී ත්‍රස්තයාට කෙසේ හෝ මරණ දඬුවම ලබා දිය යුතු බවය.

සේෆුලෝ සයිපෝව් සංක්‍රමණිකයෙකු ලෙස ඇමෙරිකාවට පැමිණ ඇත්තේ 2010 වසරේදීය. ඉන්පසු නීත්‍යාණුකූලව ඇමෙරිකා පුරවැසිභාවය ලබා ගෙන ඇත.

රැකියාව කර ඇත්තේ ඌබර් සමාගමේ රියැදුරෙකු ලෙසිනි. පළමුවෙන් ඔහු පදිංචිවී ඇත්තේ ෆ්ලොරීඩා ජනපදයේ ටැම්පා පළාතේය. ඉන්පසු ඔහු නිව්ජර්සි ජනපදයේපැටර්සන් ප්‍රාන්තයට පදිංචිය මාරු කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS