චීන ජනපති හොංකොං යයි
යටත් විජිතයක්ව පැවැති හොංකොං පාලන ප්‍රදේශය යළි චීනයට පවරාදීමේ 20 වැනි සැමැරුම වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින්පින් හොංකොං බලා පැමිණියේය.
චීන ජනාධිපති උණුසුම් ලෙස පිළිගැනීමට හොංකොං පාලිකා කැරී ලෑම් ප්රමුඛ හොංකොං බලධාරීහු කටයුතු කළහ.
චීන ජනාධිපතිවරයකු මේ අයුරින් හොංකොංහි සංචාරය කරන්නේ වසර පහකට පසුවය. අවසන් වරට චීන ජනපතිවරයකු හොංකොං පැමිණියේ 2012 වසරේදීය. ෂී ජිංපින් චීන ජනාධිපති ලෙස හොංකොං පැමිණි පළමු අවස්ථාව මෙය යැයි චීන පුවත් සේවා වාර්තා කර තිබුණි.
අතීතයේ බ්‍රිතාන්‍ය කොලනියක වූ හොංකොං රටක් ලෙස සැලකෙන්නේ නැත. හොංකොං යනු චීනයට නතු වෙනම පාලන ප්රදේශයකි. හොංකොං ආසියාවේ වෙළෙඳ සහ ආර්ථික කේන්ද්‍රයක් ලෙස ද සැලකෙයි.
හොංකොං සංචාරයේදී චීන ජනාධිපතිවරයා හොංකොං වැසියන් අමතමින් කියා සිටියේ ‘එක රටක්, පද්ධති දෙකක්’ කියාය. චීන ජනාධිපති සමඟ ඔහුගේ බිරිය පෙන්ග් ලියුවාන් ද හොංකොං බලා පැමිණියාය.
හොංකොංහි පාලකයා ලෙස කටයුතු කරන්නේ චීන හිතවාදී කැරී ලෑම්ය. ඇය එම ධුරයට පත්වූයේ මීට මාස කිහිපයකට පෙර පැවැති ඡන්ද විමසුමකිනි. හොංකොං පාලකයා බවට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්ද විමසුම පැවැත්වෙන්නේ හොංකොං පාලක මණ්ඩයේ සාමාජික සාමාජිකයන් අතරේය.
චීන ජනධිපතිවරයාගේ හොංකොං සංචාරයට විරෝධය දැක්වීමක් ද සිදුවිය. විරෝධතා සංවිධානය කළ ක්‍රියාකාරීහු රැසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. චීන ජනාධිපතිගේ හොංකොං සංචාරය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැංවීමට හොංකොං බලධාරීහු කටයුතු කර තිබුණාහ. පොලිස් බළඇණි කිහිපයක් විරෝධතාකරුවන් මර්දනය කිරීමට යෙදවිණි.
හොංකොං වැසියන්ගෙන් කොටසක් චීනයට විරෝධය පළ කරති. ඔවුන් පවසන්නේ, හොංකොං චීන පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු බවත්, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ යුතු බවත්, හොංකොං වැසියන්ගේ ඡන්දයෙන් පාලකයන් තෝරා ගැනීමට කළ යුතු බවත්ය. එසේ විරෝධතා දක්වන පිරිස් සහ මානව ක්‍රියාකාරීන් හොංකොං රජය විසින් දැඩි ලෙස මර්දනය කෙරේ.
(රොයිටර්)