කරුණානිධිගේ අභාවයෙන් තමිල්නාඩුව කම්පා වෙයි
තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති මුත්තුවේල් කරුණානිධිගේ අභාවයත් සමඟ දින 7 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කර ඇත. ඊට අමතරව, පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට ද බලධාරීහු පියවර ගත්හ.
අන්නා ද්‍රවිඩ මුනේත්ර කලහම් හෙවත් ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා ලෙස කරුණානිධි පස් වරක් තමිල්නාඩු මහ ඇමැති ධුරය හොබවා ඇත. 94 හැවිරිදි කරුණානිධි අභාවප්‍රාප්ත වූයේ ඊයේ සවසය. ඒ වනවිට ඔහු දින 11 ක් චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව පැවැසිණි.
කරුණානිධිගේ දේහය අද (8) උදේ සිට රාජාජී ශාලාවේ මහජන ගෞරවයට තැබුණු අවස්ථාවේදී දහ දණනින් තමිල්කාඩු වැසියෝ ඊට ගෞරව දැක්වීමට පැමිණියහ. පිරිස පාලනය කිරීමට පොලිසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, තමිල්නාඩු මහ ඇමැති පලානිස්වාමි, දේශපාලනයට පිවිසි සුපිරි නළු රැජිනි කාන්ත්, කමල් හසන් ඇතුළු බොහෝ දෙනෙක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
කරුණානිධිගේ දේහය මිහිදන් කිරීම සම්බන්ධයෙන් ද අර්බුදයක් හටගෙන තිබුණි. තමිල්නාඩුවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්ෂය වන අතර, පාලක පක්ෂය වන්නේ අභාවප්‍රාප්ත හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ ‘අන්නා ද්‍රවිඩ මුනේත්ර කලහම්’ පක්ෂයයි.
කරුණානිධි ඩී.එම්.කේ. පක්ෂ නායකත්වයෙන් සමුගත්තේ මීට වසර කීපයකට පෙර සිටය. ඉන්පසු අවසන් සුසුම් හෙලන තුරු ඔහු ඩී.එම්.කේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස කටයුතු කළේය. ඩී.එම්.කේ. පක්ෂයට නායකත්වය දෙන්නේ කරුණානිධිගේ පුතා එම්.කේ. ස්ටාලිං ය.
එම්.කේ. ස්ටාලිං තමිල්නාඩු රජයෙන් ඉල්ලා ඇත්තේ කරුණානාධිගේ දේහය මරීනා වෙරළ අවට ප්‍රදේශයේ මිහිදන් කිරීමට අවසර දෙන ලෙසය. ප්‍රාන්ත රජය ස්ටාලිං කළ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
තමිල්නාඩු මහ ඇමැතිවරුන්, ප්‍රභූවරුන්, ජනප්‍රිය පුද්ගලයන් රැසක් මිහිදන් කිරීම සිදුකර ඇත්තේ මෙරීනා වෙරළ අවටය. පසුගිය වසරේ අභාවප්‍රාප්ත වුණු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය ද මිහිදන් කර ඇත්තේ මෙම ස්ථානයේය.
(එන්.ඩී.ටීවී)