ඇමෙරිකා-දකුණු කොරියා යුද අභ්‍යාසය



උතුරු කොරියාවේ විරෝධය මැද ඇමෙරිකාව සහ දකුණු කොරියාව ඊයේ (21) ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.

කලාපීය දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ එම යුද අභ්‍යාසය ‘ගින්නට පිදුරු දැමීමක්’ කියාය. යුද අභ්‍යාස පැවැත්වීමෙන් වළකින්නැයි උතුරු කොරියාව ඇමෙරිකාවට දිලින් දිගටම අනතුරු අඟවා තිබුණි.

ඇමෙරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාස පවත්වන්නේ ඔවුන්ගේ හමුදා ශක්තිය පෙන්වීමට වුවත්, උතුරු කොරියාව එය දකින්නේ කොරියානු අර්ධ ද්වීපයේ ආක්‍රමණයකට ඇමෙරිකාව කටයුතු කරන බවටය.

ඊයේ ආරම්භවුණු එම යුද අභ්‍යාසයට ඇමෙරිකන් සොල්දාදුවන් 17,500 ක පිරිසක් සහභාගී වන බව ඇමෙරිකාව පවසා ඇත. යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ කොරියානු අර්ධ ද්වීපයේය. යුද අභ්‍යාසය දින පහක් තිස්සේ පැවැත්වෙයි.

උතුරු කොරියාව, ඇමෙරිකාවට පමණක් නොව මුළුලොවට තර්ජනයක් වී ඇත්තේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී වාර්ෂිකව පවත්වන මෙම යුද අභ්‍යාස නිසා යැයි චීනය සහ රුසියාව චෝදනා කරයි.

චීනය සහ රුසියාව පසුගිය ජූලි මාසයේ ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ යුද අභ්‍යාස පැවැත්වීම සීමා කරන ලෙසය. ඒ, උතුරු කොරියාව සමඟ පවතින අර්බුදයට විසඳුමක් ලෙසය. කෙසේ නමුත් ඇමෙරිකාව එම ඉල්ලීමක් කන් නොදෙයි.

තමන්ට එරෙහිව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියාව ඇමෙරිකාවට පහර දෙනවා යැයි තර්ජනය කර ඇත. පසුගිය දා උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කළේ පැසිෆික් නාගරයේ පිහිටා ඇති ඇමෙරිකන් පාලනයට නතු ‘ගුආම්’ දූපතට පහර දෙන බවය. මෙම දූපතේ ඇමෙරිකා හමුදාවට අයත් ගුවන් කඳවුරක් පිහිටුවා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS