ආපසු යන්නැයි කියයි
ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටින 50,000 ක පිරිසක් ආපසු ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඉතාලි නව රජය කියයි.
‘බඩු මුට්ටු සූදානම් කරගෙන යන්න ලෑස්ති වෙන්න’ යැයි ඉතාලි නව අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මැටියෝ සල්විනී අනවසර සංක්‍රමණිකයන්ට රතු එළියක් ද නිකුත් කර ඇත.
ඉතාලි නව රජය ‘ෆයිව් ස්ටාර් මූව්මන්ට්’ සහ ‘ලේගා’ යන දේශපාලන පක්ෂ දෙකෙහි සන්ධානයයි.
ඉතාලියේ නව අගමැති ලෙස 53 හැවිරිදි ගුසෙප් කොන්තේ පසුගියදා දිවුරුම් දුන්නේය. කොන්තේ නීති මහාචාර්යවරයෙකි. බදු අඩු කිරීමටත්, සුබසාධන කප්පාදු නතර කිරීමටත් කොන්තේ ප්‍රතිඥා දී ඇත. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දළදඬු නීති අනුගමනය කරන බවට අගමැතිවරයා ප්‍රතිඥා දී ඇත.
ඉතාලි අගමැති ප්රමුඛ රජය ගත් තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය අප්‍රසාදය පළ කර ඇති බව ද පැවැසෙයි.
මැටියෝ සල්විනී නියෝජනය කරන්නේ ‘ලේගා’ පක්ෂයයි. ඔහු ඉතාලියේ ‘ලේගා’ පක්ෂයේ නායකයාය.
ලේගා පක්ෂය ද පසුගිය කාලය පුරාවට දිගින් දිගටම පවසා සිටියේ ඔවුන්ට ජන වරමක් හිමිවුවහොත්, සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි තීරණ ගන්නා බවත්, වසර පහක් ඇතුළත සංක්‍රමණික අර්බුදයට විසඳුමක් ලබා දෙන බවත්ය.
අනවසර සංක්‍රමණිකයන් ලෙස මෙසේ ඉතාලියේ රැඳී සිටින පිරිස අතර දිවි පරදුවට තබා බෝට්ටු මාර්ග ඔස්සේ ඉතාලියට පැමිණි ලිබියානු, සිරියානු සහ අප්‍රිකා රටවල වැසියෝ වෙති.
(ඒ.එෆ්.පී.)